වකුගඩු රෝගීන් හඳුනාගැනීමට ලංකාව තුළ වර්තමානයේ සිදුකරන මුත්‍රා පරීක්ෂණ ක්රමයේ ඇති අඩුපාඩු නිසා වකුගඩු රෝගීන් නොවන පුද්ගලයන් රෝගීන් ලෙසත්, සත්‍ය ලෙස රෝගය තිබෙන්නන් රෝගීන් ලෙස හඳුනාගත නොහැකි වන බවත් හෙළිවී ඇතැයි වකුගඩු රෝග පිළිබඳ දේශීය පරීක්ෂණ කණ්ඩායමේ සාමාජික රජරට වෛද්‍ය විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.
වකුගඩු රෝගීන් හඳුනාගැනීම සඳහා අද දවසේදී ලංකාව තුළ සිදුකරන පරීක්ෂණය භාවිත කළේ 1970 වසරවලදී බවත්, එහෙත් එම ක්‍රමය තුළින් වකුගඩු රෝගීන් කවුරුන්ද යන්න සහ මුල් අවස්ථාවේදීම වකුගඩු රෝගීන් හඳුනාගැනීමට නොහැකි වීම නිසා ශ්‍රී ලංකාවට වඩා ආර්ථික දුෂ්කරතා ඇති රටක්වත් වර්තමානයේදී එම පරීක්ෂණය සිදු නොකරන බවත් ඔහු පවසා සිටියේය.
මේ පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් අවස්ථා ගණනාවකදී දැනුම්වත් කළද, වකුගඩු රෝග නිවාරණ අංශවල සිටින යම් යම් පුද්ගලයන්ගේ බලපෑම නිසා ඒ පිළිබඳව කිසිදු බලධාරියෙකු සැලකිල්ලක් නොදක්වන බවද වෛද්‍ය චන්න ජයසුමන මහතා කියා සිටියේය.
වකුගඩු රෝගීන් හඳුනාගැනීම සඳහා ලෝකයේ සෑම රටක්ම සිදුකරන පරීක්ෂණය තම පරීක්ෂණ කටයුතු සඳහා යොදාගන්නා බවත්, එහිදී සිදුකරනු ලබන්නේ වකුගඩු නාලිකා විනාශ වී යාම මත පිටකරන ප්‍රෝටීන මුත්‍රා හරහා පරීක්ෂා කර බැලීම බවත් හෙතෙම සඳහන් කළේය.
මෙම ක්‍රමය මගින් රෝගය ඇතිවන මුල් අවස්ථාවේදීම රෝගීන් හඳුනාගැනීමට හැකියාව තිබෙන බවත්, එලෙස හඳුනාගත් වහාම ප්‍රතිකාර ලබාගතහොත් එම රෝගය සුවපත් කළ හැකි බවත් ඔහු පවසා සිටියේය.
මෙම ක්‍රමයට අනුව පුද්ගලයන් 100 ක් පරීක්ෂා කළහොත් 99෴කට වැඩි ප්‍රතිශතයක් සහිතව රෝගය හඳුනාගත හැකි බවද ඒ මහතා සඳහන් කළේය.
එහෙත් ශ්‍රී ලංකා රජය වකුගඩු රෝගීන් හඳුනාගැනීම සදහා භාවිත කරනු ලබන්නේ මුත්රාවල පවතින ඇලබිටින් ප්‍රෝටීන් ප්‍රමාණය බවත්, මුත්‍රාවලට ඇල්බිටින් ප්‍රෝටීනය එකතු වන්නේ නාලිකා විශාල ලෙස විනාශ ගිය පසුව සහ අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝග වැලඳීම මත බවද පවසා සිටියේය.
මේ නිසා මෙම පරීක්ෂණය තුළින් හඳුනාගත හැකිවන්නේ රෝගීන් 100කින් 70 දෙනෙකු පමණක් බවත්, එම පිරිස අතර වෙනත් රෝග වැලඳී සිටින පිරිස් පවා සිටිය හැකි බැවින් එවිට එම පුද්ගලයා නිකන්ම වකුගඩු රෝගියෙකු වන බවත් වෛද්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.
මේ නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඍජුව මැදිහත් වී වකුගඩු රෝග සම්බන්ධ විශේෂඥයන් සමග සාකච්ඡා කර, පරීක්ෂා කිරීම් සඳහා නිසි ක්‍රමවේද භාවිත කරන ලෙසද ඒ මහතා ඉල්ලා සිටියි.