ලෝක තෙත් බිම් දිනය අදට (02දා) යෙදී තිබේ. 'අපේ අනාගතය සඳහා තෙත් බිම' යනුවෙන් අද ලොව පුරා බොහෝ රටවල් මෙම දිනය සමරයි.
ජගත් තෙත් බිම් සංරක්ෂණය කිරීම සඳහා 1971 වසරේදී ඉරානයේ රැම්සා නුවරට රැස්වූ රටවල් 18 ක නියෝජිතයන් විසින් අන්තර්ජාතික සම්මුතියක් සම්මත කරගෙන තිබේ. මේ වනවිට එම එකඟතාවට රටවල් 100 ඉක්මවූ ප්‍රමාණයක් අත්සන් තබා තිබෙන අතර, ශ්‍රී ලංකාව මෙම එකඟතාවට අත්සන් තබා තිබෙන්නේ 1991 වසරේදීය.
මේ අනුව ශ්‍රී ලංකාව තුළ රැම්සා තෙත් බිම් 06 ක් මේ වනවිට නම්කර තිබෙන අතර, ශ්‍රී ලංකාවේ තෙත් බිම් කාණ්ඩ තුනක් යටතේ වර්ග කර ඇත.
එනම් ගංගා, ඇළදොළ, විල්ලු, මිරිදිය වගුරු, වනාන්තර ඇතුළත් අභ්‍යන්තර මිරිදිය තෙත්බිම්, කුඹුරු, වැව්, ජලාශ ඇතුළත් කෘත්‍රිම තෙත්බිම් සහ මෝය, කඩොලාන, කලපු, කොරල් පර, මුහුදු තෘණ බිම් ඇතුළත් කරදිය තෙත් බිම් ලෙසය.
ශ්‍රී ලංකාවේ තෙත් බිම් ලෙස නම් කර ඇති ස්ථාන වන්නේ, බූන්දල අභය භූමිය, ආනවිලුන්දාව, මාදු ගඟ, වාන්කැලේ අභය භූමි සහ කුමන, විල්පත්තුව ජාතික වන උද්‍යානයන්ය.
ලෝක තෙත් බිම් දිනයට සමගාමීව පවත්වන ප්‍රධාන සැමරුම් උත්සවය අද විල්පත්තුව ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව පැවැත්වේ. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව සංවිධානය කරන මෙම සැමරුම් වැඩසටහන අද උදේ 10.00ට ආරම්භවීමට නියමිතය. මෙම උළෙලේ දී විජය පුවත්පත් සමාගමේ 'විජය' හා 'විජෙයි' යන සිංහල හා දෙමළ මාධ්‍ය ළමා පුවත්පත් දෙකේ සහයෝගයෙන් පැවැත් වූ තෙත් බිම් අසිරිය ප්‍රහේළිකා තරගයේ ත්‍යාග ප්රදානෝත්සවය ද පැවැත්වේ.