මාර්තු මාසයේ ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණඩායම නම් කිරීම එළැඹෙන 09දා ඇරඹෙන ඉන්දීය විස්සයි20 තරගාවලියේ නිමාවත් සමග සිදුකිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.
ලෝක කුසලාන තරගාවලියේදී පිතිකරුවන් 8 දෙනෙක් හා පන්දු යවන්නන් සිවුදෙනෙක් සහිතව සංචිතය තෝරාගැනීමට වැඩි ඉඩක් පවතින අතර, එම සංඛ්‍යාව කණ්ඩායමට තෝරාගන්නා තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ ප්‍රමාණය අනුව වෙනස් වීමට නියමිතය.
මේ වනවිට ක්‍රිකට් පිටියේ දක්ෂතා දක්වන ක්‍රීඩකයන් පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ වැඩි අවධානයක් යොමුව ඇතැයි වාර්තා වෙයි. එහිදී ක්‍රීඩකයන් අතීතයේදී දැක්වූ දක්ෂතාව වැදගත් නොවෙනු ඇති බව තේරීම් කමිටුවේ අදහස වී ඇතැයිද දැනගන්නට තිබේ.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් පිළිබඳවද තේරීම් කමිටුව අවධානය යොමු කිරීමට නියමිතය. තරගාවලියේ අවසන් මහ තරගය දිනේෂ් චන්දිමාල්ගේ ගාල්ල ගාඩියන්ස් කණ්ඩායම හා මිලින්ද සිරිවර්ධනගේ කොළඹ කොමාන්ඩොස් කණ්ඩායම අතර අද (05දා) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පස්වරු 7.00ට ආරම්භවීම නියමිතය.
මේ දක්වා පැවැති තරගවලදී පිත්තෙන් දක්ෂතා දැක්වීමට ධනංජය ද සිල්වා (5/193), නිරෝෂාන් දික්වැල්ල (5/178) හා සීක්කුගේ ප්‍රසන්න (5/170) සමත්ව තිබේ. තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන සීක්කුගේ ප්‍රසන්න පසුපෙළ පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසි අතර, මෙම තරගාවලියේදී ඔහු හම්බන්තොට ටෘපර්ස් කණ්ඩායම නියෝජනය කරමින් ආරම්භක පිතිකරුවෙකු ලෙස දක්ෂතා දැක්වීම පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ. එහිදී ඔහු ලකුණු 25, 40, 35, 18 හා 52 වශයෙන් වේගයෙන් ලකුණු රැස්කිරීමට සමත් විය. සීක්කු ඉන්දීය සංචාරයටද නම් කර තිබේ. තරගාවලියේදී පන්දු යවන්නන්ගෙන් පෙරමුණේ පසුවන්නේ ශමින්ද එරංග (5/10), කසුන් රජිත (5/9), සුරාජ් රන්දිව් (4/8) වෙති. මෙම පන්දු යවන්නන් අතරින් කසුන් හැරෙන්නට අනෙක් දෙදෙනා ඉන්දීය සංචාරයට ඇතුළත් නොවෙති.
සුපිරි විස්සයි20 අවසන් තරගය නොමිලයේ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ පළාත් විස්සයි20 තරගාවලියේ අවසන් මහ තරගය ඛෙත්තාරම පිටියේදී රාත්‍රී 7.00ට ආරම්භවීමට නියමිත අතර, එය මහජනතාවට නොමිලයේ නැරඹිය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.