මාර්තු 08වෙනි දිනට යෙදුන ලෝක කාන්තා දිනය අරමුණු කර කැන්රිච් ෆිනෑන්ස් ආයතනය මහරගම ගෝල්ඩන් සිටි සිංහ සමාජය හා ශ්‍රී සුමන තරුණ බෞද්ධ එකමුතුව හා අත්වැල් බැඳගනිමින් කාන්තාවන් අරමුණු කරගත් වැඩසටහන් රැසක් හා ලේ දන්දීමේ වැඩසටහනක් කොහුවල විජයමංගලාරාමයේදී පසුගියදා සාර්ථකව පවත්වන්නට යෙදුණි.
මෙහිදී ගැබිනි මව්වරුන් රැසකට පෝෂ්‍යදායී වියලි සලාක ලබා දුන් අතර ළමා ආරක්ෂණය පිළිබඳ දේශනයක් ”ළමා අපචාර වලක්වමු” මැයෙන් ප්‍රවීණ දේශක කොලින් ආරියරත්න මහතා විසින් කාන්තාවන් අරමුණු කර පවත්වන ලදී. වත්මන් සමාජය තුළ දරුවාගේ ආරක්ෂාව හා රැුකවරණය අවධානමකට ලක්ව ඇතිබැවින් දෙමාපියන් වශයෙන් දරුවන් වෙත ලැබිය යුතු සෙනෙහස සහ මනා අවධානය ඔවුන් වෙත ලබා දීමත් එයින් දරුවන්ගේ රැුකවරණය සැලසීමත් මගින් වත්මනෙහි උදා වී ඇති අනාරක්ෂිත තත්වයන්ගෙන් දරුවන් මුදවා ගැනීමට කටයුතු කළ හැකි බවට මෙහිදී කාන්තාවන් දැනුවත් කරනු ලැබිණි. මේ සඳහා ජාති ආගම් බේදයකින් තොරව විශාල කාන්තා සහභාගීත්වයක් දක්නට ලැබුණු අතර ඒ හේතුවෙන්ම වඩා වැඩි වටිනාකමක් මෙම සත්කාර හා සේවා වැඩසටහන් සඳහා අත්කරගත හැකි විය. කාලීන සමාජ අවශ්‍යතාවයන්ට අනුගත වෙමින් කාන්තා අවශ්‍යතාවයන් හඳුනාගනිමින් කාන්තාවන් වෙනුවෙන්ම දියත් වූ මෙම වැඩසටහන් පැමිණි කාගේත් පැසසුමට ලක්විය.
අපවත්වී වදාල සද්ධර්ම කීර්ති ශ්‍රී දියපත්තුගම සුමන නාහිමිපාණන්ගේ ගුණානුස්මරණය මුල් කරගනිමින් ලේ දන්දීමේ කඳවුරක්ද මෙහිදී පැවැත්වූ අතර වයස් භේදයකින් තොරව ප්‍රදේශවාසීන්ගේ ඇස් පරීක්ෂාවට ලක්කර නොමිලේ ඇස් කණ්නාඩි ලබාදීමේ සත්කාර්යයක්ද මීට සමගාමීව පැවැත්විණි. මෙම සමාජ සත්කාරක ව්‍යාපෘතිය සඳහා කැන්රිච් ෆිනෑන්ස් ඉහළ කළමණාකාරිත්වය නියෝජනය කරමින් විධායක අධ්යක්ෂ ආචාර්ය කේ. එම්. එස්. බී. රැකෝගම මහතා, සාමාන්‍යාධිකාරී ආලෝක වාහලවත්ත සහ සාමාන්‍යාධිකාරී එරන්ද අමල් ගොඩගේ මහත්වරුන් සහභාගී වූහ. එසේම එක්සත් ජාතික පක්ෂ දෙහිවල ආසන සංවිධායක හා මහ නගරසභා විපක්ෂ නායිකා සුනේත්‍රා රණසිංහ මැතිණියද මහරගම ගෝල්ඩන් සිටි සිංහ සමාජයේ සිංහාධිපති පේ‍්‍රම් ශ්‍රී හේවාවසම් මහතා සහ සාමාජිකයන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.