මෙදියත කවරාකාරයකින් බිහිවුවද එහි අයිතිය මෙලොව වසන සියල්ලන්ම සතුය. නීල වර්ණ ගහකොළට, ගලා බසින ගංගාවට, ඇළට දොළට, හමන සුළඟට, ඉරට හඳට අයිතිය කීමට කිසිවෙකුටත් නොහැකිය. ධන තණ්හාවෙන්ද, බල තණ්හාවෙන්ද පීඩිත වූ මිනිසා මේ සියල්ලටම උරුමකම් කීමට පොර බඳිති. කලකෝලාහල කර ගනිති. අවසානයේ මේ සියල්ල අතහැර මිහිතලය මත සැතපෙති. මෙයට වසර දෙසීයකට පමණ පෙර විසූ රතු ඉන්දියානු ගෝත්‍රික නායකයකු වන ‘සියටැල් නැමැත්තා විසින් ඉහත ප්‍රකාශය සිදුකර තිබේ.
නමුදු වත්මන් මිනිස් සත්ත්වයා පරිසරයට සිදුකරන මහා විනාශය දෙස බැලූවිට එම ප්‍රකාශය වත්මනට කොතරම් ගැළපෙන්නේද යන කාරණය සොයා බැලීමට කාලය එළැඹ තිබේ. පරිසරය විනාශ කරමින්, සතුන් ඝාතනය කරමින් යන මේ ගමනේ අවසානය කොතැනකදැයි ඔවුන් මොහොතකටවත් සිතන්නේ නැත. කෙසේ වෙතත් තමන් ගැන පමණක් සිතමින් කටයුතු කරන මෙම ක්‍රියාදාමය වෙනස් කළයුතු බවට මේ වන විට ලෝක මට්ටම්න් සාකච්ඡා වෙමින් පවතී.
මේ අතර අප රටද අද (26දා) දිනයේදී මේ සම්බන්ධයෙන් ලොවට පණිවුඩයක් දීමට සුදානම්ය. ඒ මෙරට ශ්‍රී ලංකා රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙන නීති විරෝධී ඇත්දළ තොගයක් ප්‍රසිද්ධියේ පිළීස්සීමට තීරණය කිරීමත් සමගය. මේ සඳහා රටේ නායකයන් වන ජනපති සහ අගමැති සහභාගී වීමට නියමිත අතර, එයද සුවිශේෂී වනු ඇත.
ඇත්දළ අලියාගේ ආභරණයකි
ඇත්දළ මනාව සංස්කෘතිය සමග විවිධ ආකාරයෙන් සම්බන්ධව පවතී. බොහෝවිට එය වළලු, මාල ආදී වූ ආභරණ උපාංගයන්ගේ කොටසක් ලෙස එසේත් නැතිනම් භක්තිය සහ තරාතිරම හඟවන සංකේතයක් ලෙස භාවිත විය. ආගමික පිළිගැනීමක් සහිත පුද්ගලයන්ගේ මෙවලම් සඳහාද, විවිධාකාරයේ විසිතුරු භාණ්ඩ දක්වා වූ පුළුල් පරාසයකට අත්කම් භාණ්ඩ නිපදවීම සඳහාද මේවා භාවිත වේ. මින් ඇතැම් ඒවා ඉතා සියුම් වූත් විශේෂ කුසලතාවයන්ගෙන් යුතු නිර්මාණ බව අවිවාදයෙන්ම පිළිගත යුතුය. එය පෙරදිග සහ චීනයේ සම්භවය ලද ලාභදායී කර්මාන්තයකි. මේ සඳහා වන ඇත්දළ බොහෝ විට නීත්‍යානුකූලව පිළිගත් ක්‍රමවේදයකට අනුව එසේත් නැත්නම් හීලෑ ඇතුන් මිය යෑමෙන් පසු ලබාගත් ඒවායි. මෙම කර්මාන්තයේදී භාවිත වන දළ වලින් වැඩි ප්‍රමාණයක් එපරිද්දෙන් නෙළාගත් ඒවා බවට සැකයක් නොමැත.
මා ඔබ හැඩකරන ආභරණයක් නොවේ
වර්ෂ 1989දී ඇත්දළ වෙළඳාම සඳහා අලි ඇතුන් විශාල ප්‍රමාණයක් මරා දැමීමත් සමග ශීඝ්‍රයෙන් අලි ඇතුන්ගේ සංඛ්‍යාව අඩුවීම හේතුවෙන් ලෝකය අවදි විය. අලි ඇතුන්ගේ අනාගතය ඛේදනීය වූ අතර, INCIN ආයතන මගින් අලියා දැඩි ලෙස තර්ජනයට ලක්ව ඇති සත්ත්වයකු ලෙස කාණ්ඩ කෙරිණ. අප්‍රිකානු රටවල් කිහිපයක් සහය පළ නොකරන තත්ත්වය යටතේ වුවත් CITES (තර්ජනයට ලක්ව ඇති වනජීවීන් හා වෘක්ෂලතා ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ වූ සම්මුතිය) සම්මුතිය යටතේ ඇත්දළ අලෙවිය ජාත්‍යන්තරව තහනම් කිරීමට හැකියාව ලැබිණි.
මෙම තහනම යම් මට්ටමකින් ඵලදායී වුවද නීති විරෝධීව ඇතුන් මරා දැමීම නොකඩවා සිදු වූ අතර, කර්මාන්තශාලා සඳහා ඇත්දළ සැපයීමද අඛණ්ඩවම සිදුවේ. 1989 වර්ෂයේදී කෙන්යාවේ වනජීවී ආයතනය සතුව තිබූ රාජසන්තක කරන ලද ඇත්දළ ටොන් 13 ක් ගිනි තබා විනාශ කර දැමීමෙන් ඇත්දළ වලට තිබූ වටිනාකම පහත හෙළීමකට ප්‍රමුඛතාවය ඇතිකරනු ලැබීය. ඉන් අනතුරුව තවත් බොහෝ රටවල්ද රාජසන්තක කරන ලද ඇත්දළ විනාශකර දැමීමට පියවර ගත්හ. එහි අරමුණු වූයේ ඒවා වෙළෙඳාමට දායක නොකර ගැනීම මෙන්ම එම නීති විරෝධී ඝාතනය කිරීම් මගින් සපයාගත් නිෂ්පාදන සඳහා ඇති සමාජ පිළිගැනීම පහත දැමීමයි.
ලේ තැවරුණු ඇත් දළ විනාශකර දැමීම
2012 වර්ෂයේදී නීති විරෝධී ඇත්දළ 359ක් මෙරටදී අල්ලා ගැනීම තුළින් ඒවා ජාත්‍යන්තරයට හුවමාරු වීම වළක්වාලීමට ශ්‍රී ලංකා රේගුවට හැකියාව ලැබිණ. 2012 වර්ෂයේ සිට එම ඇත්දළ ශ්‍රී ලංකා රේගුව භාරයේ පැවතිණ. බොහෝ පරිසරවේදීන් පසුගිය වකවානුව මුළුල්ලේම රජයෙන් ඉල්ලා සිටියේ මෙම ලේ තැවරුණු ඇත්දළ විනාශ කර දමා සයිටේස් සම්මුතිය සහ ශ්‍රී ලංකාවේ වනසත්ත්ව සහ වෘක්ෂලතා ආඥා පනත ක්‍රියාවට නැංවීමට රජයේ ඇති කැපවීම සංකේතවත් කරන ලෙසයි.
තිරසාර සංවර්ධන සහ වනජීවී අමාත්‍යාංශය එම අත්අඩංගුවට ගත් ඇත්දළ විනාශ කර දැමීම සඳහා වූ ඉල්ලීම කෙරෙහි ප්‍රතිචාර දැක්වූයෙන් ඒවා පුණ්යභාණ්ඩ ලෙස ප්‍රදානයට හෝ වෙළෙඳ භාණ්ඩ ලෙස දායක කර නොගැනීමටත් වූ තීරණය ක්‍රියාවට නැංවීය. ඒ අනුව තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය විසින් මිය ගිය අයට පිං පැමිණ වීමේ සම්ප්රදාය අනුගමනය කරමින් පවත්වන විශේෂ උත්සවයටද එම ඇත්දළ කුඩුකර විනාශ කර දමා අනතුරුව අළුකර දැමීමටත් තීරණය කර ඇත. මෙය එබඳු නීති විරෝධී ආකාරයට ඇත් දළ ලබාගැනීමේ අරමුණින් ඇතුන් මරා දැමීමේ බිහිසුණු ක්‍රියාවන්හි (එමෙන්ම සෙසු ආරක්ෂක සතුන්ද ඇතුළුව) නිරත පුද්ගලයන්ට මෙන්ම කවර හෝ හේතුවක් නිසා ඇත්දළ සන්තකයේ තබා ගැනීමට කැමැත්තක් දක්වන සෑම කෙනෙකුටම නීති විරෝධී ඇත්දළ සඳහා පිළිගැනීමක් නොමැති බව සිහිපත් කිරීම පිණිස වන විරෝධතාව සංකේතවත් කිරීමක් මෙන්ම පණිවුඩයක් සැපයීමකි.
විනාශ කරන්නේ මෙහෙමයි
අදාළ ඇත්දළ තොගය ගාලු මුවදොරදී කැබලි කිරීමට නියමිත අතර, ඒ සඳහා පැය හයකට වැඩි කාලයක් ගතවනු ඇතැයි ගණන් බලා තිබේ. එසේ කැබලි කරන ලද ඇත්දළ කුඩු පුත්තලම හොල්සිම් ආයතනයට රැගෙන ගොස් පූර්ණ දහනයකට ලක්කිරීමට සැලසුම්කර තිබේ.ඇත්දළ තොගය කුඩු කිරීමේ සිට පිළිස්සීම දක්වා සියලු අවස්ථා විශේෂ කාර්ය බළකා නිලධාරීන් යොදවා පූර්ණ ආරක්ෂා සහිතව සිදුකිරීමටත්, මෙහි සියලු අවස්ථා පරිසර සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන සහ මාධ්‍යයට විවර කිරීමටත් අමාත්‍යාංශය තීරණය කර තිබීම සතුටුදායකය.
රැකගත යුතු සතුන් 07 ක්
නීති විරෝධී ඇත්දළ තොගය විනාශ කිරීමට සමගාමීව මෙරට වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති සතුන් 07 දෙනෙකුගේ ඡායාරූප සහිත මුද්දර 07ක් නිකුත් කිරීමටද මෙහිදී සැලසුම්කර තිබේ. මෙදින මුල්දින කවර සහ මුද්දර ලෙස නිකුත් කරන වඳවී යෑමේ තර්ජනයට මුහුණදී සිටින සතුන් ටොප් 07 (TOP 07) ලෙස නම්කර ඇති අතර, ඒ යටතට නිල් තල්මසා, දාර කැස්බෑවා, අලියා, කොටියා, වලසා, ගැටකිඹුලා සහ අලිමානාවා යන සතුන් ඇතුළත්ය.
එමෙන්ම සතුන් විනාශ කරන, පරිසයට හානිකරන පුද්ගලයන් වෙනුවෙන් නීතිය මීට වඩා දැඩි කළ යුතුය.