ලාභ ලබන රාජ්‍ය ආයතන කිසිවක් පෞද්ගලීකරණයට ලක් නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. වරායද පෞද්ගලීකරණය කිරීමේ අවශ්‍යතාවක් නොපෙනෙන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළ අතර ශ්‍රී ලංකා වරාය අධිකාරියේ CFS 1 බහාළු මෙහෙයුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක්වෙමින් ජනාධිපතිවරයා මේබව කීය.
“අපේ රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට දීම සම්බන්ධයෙන් නොයෙකුත් මාධ්‍යවල ඇසෙන දකින දේවල් තියෙනවා. නොයෙක් සාකච්ඡාවලට ලක්වන දේවල් තියෙනවා.
වරාය ගත්විට එහි යම් යම් අංශ පිළිබඳවත් එවැනි විවිධ අදහස් මම අහලා තියෙනවා. මාධ්‍ය තුළ දැකලා තිබෙනවා. මම දැක්කා පසුගිය දවසක පුවත්පතක තිබුණා ලංකා හොස්පිටල් එක විකුණන්න යනවා කියලා. ඒවගේම ඉතා ලාභ ලබන ආයතන පිළිබඳ නම් වැලක් මම එහි දැක්කා. එහිදී නම් වරායේ නම මම කොහෙවත් දැක්කේ නැහැ. කෙසේවෙතත් ලාභ ලබන රාජ්‍ය ආයතන කිසිවක් විකිණීම සම්බන්ධයෙන් මම ප්‍රතිපත්තියක් ලෙස කිසිවිටෙකත් එකඟ වන්නේ නැහැ. එය මම ඉතා පැහැදිලිව ප්‍රකාශ කරනවා. පාඩු ලබන ආයතන තියෙනවා නම් ඒ ආදායම් වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් ගතයුතු පියවර රාශියක් අපිට තියෙනවා. ඇතැම් විටෙක පෞද්ගලික අංශ සමග ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාවන් තියෙනවා. නමුත් ලාභ ලබන රාජ්‍ය ආයතන කිසිවිටෙකත්, සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් පෞද්ගලික අංශයට විකිණීමට මම එකඟ වන්නේ නැහැ. මම ඒ ප්‍රතිපත්තියේ සිටිනවා.....” යැයිද ජනාධිපතිවරයා මෙහිදී කී.