ලංකා විදුලිබල මණ්ඩලයේ ජනවාරි මස අලාභය රුපියල් මිලියන 8,617ක් බව වාර්තා වේ. ඒ අනුව විදුලිබල මණ්ඩලයේ පසුගිය මාසයේ මූල්‍ය අලාභය රුපියල් මිලියන 6,202ක් වන අතර රුපියල් 2,415ක ක්ෂයවීම් වාර්තා වී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලයේ සමස්ත ආදායම රුපියල් මිලියන 16,929ක් වන අතර, මහාභාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 1,202ක් ලබාදී තිබේ. ඒ අනුව සමස්ත ලැබීම් ප්‍රමාණය රුපියල් මිලියන 18,231ක් වන අතර, විදුලිබල මණ්ඩලයේ ජනවාරි මස සමස්ත වියදම රුපියල් මිලියන 24,433ක් වන බවද වාර්තා වේ.
ලංකා විදුලිබල මණ්ඩලයේ මාසයක පාඩුව පිළිබඳ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතාගෙන් 'අද' කළ විමසීමකදී හෙතෙම පවසා සිටියේ, විදුලිබල මණ්ඩලයේ පාඩුවක් සඳහන් කළ නොහැකි බවයි.
" විදුලිබල මණ්ඩලයේ පාඩුවක් කියන්න අමාරුයි. මොකද විදුලිබල මණ්ඩලය ලාබ ලබන ආයතනයක් නෙවෙයි. විදුලිබල මණ්ඩලයේ ලැබීම් විදුලිබිල සහ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මත තීරණය වෙනවා. ඒ අනුව යම්යම් අවස්ථාවල ලාබ වෙනවා, පාඩුවෙනවා. මිලියන අටදහස් ගාණක් කියන්නෙ ලොකු ගාණක් නෙවෙයි.
මේ සම්බන්ධයෙන් රජයෙන් තීන්දුවක් ගනිවි. ඇතැම් කාලවලදී තෙල් මිල අඩුවෙද්දි නිෂ්පාදන වියදම අඩුවෙනවා. වියළි කාලගුණය පැවතීම හේතුවෙන් ඩීසල් බලාගාර වැඩි වැඩියෙන් ක්‍රියාත්මක කරන්න සිදුවුණා. ඒනිසා තමයි මේ වියදම සිදුව තිබෙන්නෙ. එහෙම වුණත් ඒ තත්ත්වයට මහා භාණ්ඩාගරය මැදිහත් වෙනවා.
ඉදිරි කාලයේ තවත් වර්ෂාව හිඟ වුණොත් ජල විදුලිය නිෂ්පාදනය කරන්න අමාරු වෙනවා. මේ නිසා ඇතිවන තත්ත්වය පිළිබඳ අපි මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර තිබෙනවා." යැයි හෙතෙම වැඩිදුරටත් පැවසීය.
අප මේ සම්බන්ධයෙන් විමසීමේදී විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ, මේ පිළිබඳ කිසිවක් තමාට වාර්තා වී නොමැති බවයි.
"වියළි කාලගුණය නිසා අපේ වියදම වැඩිවෙලා තියෙනවා. මේ වනවිට ජල විදුලිය නිෂ්පාදනය 9% දක්වා පහත බැහැලා තියෙනවා. ඉතිරි ප්‍රමාණය ගල් අඟුරු සහ ඉන්ධන මගින් නිෂ්පාදනය කරන්නෙ. ගල් අඟුරුවලින් විදුලිය 50%ක ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. ඒ වගේම 40% ඩීසල්වලින් විදුලිය නිෂ්පාදනය කරන්න සිදුවෙලා තිබෙනවා.
මේ නිසා විශාල වියදමක් දරන්න සිදුව තිබෙනවා. නමුත් මේ කියපු ගණන් මට සොයාබලන්න වෙනවා. කොහොම වෙතත් වියළි කාලගුණය දිගටම පැවතුණහොත් අපිට අලුතින් දරන්න වෙන වැය බර පිළිබඳ රජය දැනුවත් කර තිබෙනවා. විදුලිය කප්පාදුවකින් තොරව ලබාදීමට හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නවා" යනුවෙනි.
මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති ඉංජිනේරු අතුල වන්නිආරච්චි මහතා සඳහන් කළේ, මණ්ඩලය සතු ඩීසල් හා දැවිතෙල් බලාගාර ක්‍රියාත්මක කිරීමට හා පෞද්ගලික ඩීසල් බලාගාර තුළින් විදුලිය මිලදී ගැනීමට අධික මුදලක් වියදම් වන බවයි.
ඒ අනුව ගල් අඟුරු බලාගාර ඉදිකිරීම පැහැරහැර දිගින් දිගටම ඩීසල් බලාගාර මත යැපීම හේතුවෙන් මේ වසරේ පළමු මාස 06 තුළ සෑම මාසයකදීම රුපියල් බිලියන 8.33ක පාඩුවක් සිදුවන බවද හෙතෙම පවසා සිටියේය. මේ වනවිට සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් 39%ක් ඩීසල් දැවිතෙල් තාප බලාගාරවලින් ලබාගන්නා බවත්, එම ප්‍රතිශතයෙන් 22%ක් පෞද්ගලික අංශයෙන් මිලදී ගන්නා බවත් ඒ මහතා සඳහන් කළේය.
ඉන්දික හේවාවිතාරණ / චාමර සම්පත්