අඩු වියදම් ජනන සැලැස්ම සඳහා මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය ලබා නොදෙන නිසා එයට එරෙහිව 8 වන දින සවස 4.15 සිට අකුරට වැඩ කිරීමේ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරයි.
දින 07න් 07ට වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කරන බවත්, මෙම ක්‍රියාමාර්ගවලදී ජනතාවට සිදුවන සියලුම අපහසුතාවල වගකීම මහජන උපයෝගිතා කොමිසම විසින් භාරගත යුතු බවද එම සංගමයේ සභාපති ඉංජිනේරු කුමාර වඩුගේ මහතා සඳහන් කළේය.
2018 සිට 2037 දක්වා රටට අවශ්‍ය විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා අඩු වියදම් 20 අවුරුදු ජනතා සැලැස්මක් විදුලි බල මණ්ඩලය විසින් සකස් කර රජයට ඉදිරිපත් කර තිබෙන බවද පවසා සිටියේය.
මිල අධික විදුලියකට පාර කපන මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිලධාරීන් කිහිපදෙනෙකු විසින් අඩු වියදම් ජනන සැලැස්ම ඉවත දමා වැඩි වියදම් කෙටිකාලීන විදුලි සැපයුම ඉදිරිපත් කරමින් සිටින බවත්, මේ හරහා රටට අති විශාල මුදලක් අහිමි වී යන බවද සඳහන් කළේය.
මේ නිසා රටේ ජනතාවගේ යහපත පිණිස අඩු වියදම් ජනන සැලැස්ම ක්‍රියාත්මක කර ගැනීම සඳහා වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බවත්, එහි පළමු අදියර අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ලෙස දියත් කරන බවද පවසා සිටියේය.
අදාළ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් උපදෙස් ලබා දී තිබෙන නමුත් එම උපදෙස් පවා ඉවත දමමින් මහජන උපයෝගිතා කොමිසම කටයුතු කරමින් සිටින බවද සඳහන් කළේය.
වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා කාලය තුළ රෝහල් හා ජාතික ආරක්ෂාවට වැදගත් වන ස්ථානවලට අඛණ්ඩව විදුලිය ලබාදෙන බවද සභාපතිවරයා සඳහන් කළේය.