ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට නව බස්රථ 500ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ඒ අනුව නාගරික මගී සේවා වෙනුවෙන් යෙදවීමට උස් ආසන 50-54 නව බස් රථ 400ක් සහ ග්‍රාමීය මගී සේවාවන් සඳහා යෙදවීම වෙනුවෙන් ආසන 32-35 නව බස් රථ 100ක් මිලදී ගැනීමට ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවන කාලසටහන අනුව මගී සේවා සපුරාලීමට බස්රථ 7,257ක් අවශ්‍ය වුවද බස් රථ ඌණතාව හේතුවෙන් දැනට ධාවනයට යොදවනු ලැබ ඇත්තේ බස් රථ 6,000ක් පමණි.
එසේම බස් රථ වලින් 1560ක් වසර 15කට වඩා පැරණි ඒවා වන අතර, ඒවායෙහි නිරන්තර කාර්මික දෝෂ ඇතිවීම හේතුවෙන් මගී අවශ්‍යතා නිසි පරිදි සලසාලීමට ගමනාගමන මණ්ඩලයට නොහැකි වී තිබේ.
බස් රථවල නියමිත ආයු කාලය ඉක්මවීම සහ අනතුරුවලට ලක්වීම හේතුවෙන් වාර්ෂිකව බස් රථ 500ක් පමණ ධාවනයෙන් ඉවත් කළ යුතු බවද අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ සන්දේශයේ දැක්වෙයි.