මහනුවර ඇතිවූ සිදුවීම් පාලනය කිරීමට රජය ගත් ඇතැම් ක්‍රියාමාර්ග පිළිබඳ ශ්‍රී ලංකාවේ සිටින විදෙස් තානාපතිවරුන් සීමාවෙන් එහාට ගොස් කතා කළ බවත්, ඒවාට ආණ්ඩුවක් ලෙස නොසැලුණු බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. එංගලන්තයේ සංචාරයක නිරත ජනාධිපතිවරයා ලන්ඩන් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයන් අමතා මේ බව ඊයේ (17දා) ප්‍රකාශ කළේය.
එසේම විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකාව පිළිබඳ නිවැරදි තොරතුරු ගලා යෑම පිළිබඳ ප්‍රශ්නයක් තිබෙන බවද ඔහු කීය.
“ඔබ මෙහි ජීවත් වූවත් අපගේ මාතෘභූමිය පිළිබඳ තොරතුරු ඔබ දන්නවා. නමුත් කොතෙක් දුරට නිවැරදි තොරතුරු ඔබ වෙත ගලා එනවාද යන්න පිළිබඳ ප්‍රශ්නයක් තිබෙන බව මම දන්නවා. බොහෝ වෙලාවට පෞද්ගලික සහ සංවිධාන වශයෙන් හමුවී කතා කරනවා. එම සාකච්ඡා මගින් මා අවබෝධ කරගත් කරුණක් වන්නේ, මොනතරම් වැරදි තොරතුරු ඔබ අහනවාද, දකිනවාද කියන කාරණාවයි. අන්තර්ජාලයෙහි තිබෙන ප්‍රකාශන, ප්රවෘත්ති තුළ පැහැදිලි ලෙසම 75%ට වඩා තිබෙන්නේ සත්‍යයෙන් තොරවූ දේවල්. අසත්‍ය වූ දේවල්.
වැරදි තොරතුරු මොනතරම් වේගයෙන් විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන්ට ලැබී තිබෙනවාද කියන කාරණාව මම දැකපු දෙයක්. රටේ සිදුවන දේ පිළිබඳ නිවැරදි තොරතුරු නොලැබීම සහ නොදැකීම. රජය සිදුකරන කටයුතු සම්බන්ධයෙන් හරිහැටි අවබෝධයක් නොතිබීම වැනි කරුණු ගණනාවක් මම දකිනවා.
මහනුවර ඇති වූ සිදුවීමේදී පැය කිහිපයක් තුළ අපි රජය විදියට ඇඳිරි නීතිය දැම්මා. හදිසි නීතිය දැම්මා. ත්‍රිවිධ හමුදාව යෙදෙව්වා. සමාජ වෙබ් අඩවි සම්පූර්ණයෙන්ම වසා දැම්මා. දැඩි විරෝධතා මැද තානාපතිවරුන්ට අපේ රටේ සිටින සමහර අයට ලොකු අමාරුවක් හැදුණා මේවා අපි කරනකොට. සමහර අය චෝදනා ස්වරූපයෙන් කතා කරන්න ගත්තා. විදේශීය තානාපතිවරු සීමාවෙන් එහා කතා කරන්න ගත්තා. ඒ කිසිම දෙයකට අපි සැලුණේ නැහැ. බය වුණේ නැහැ. ගන්න තිබුණු තීන්දු තීරණ අපි නිසියාකාරව ගත්තා. රටක් විදියට සිදුවීමට ගිය විශාල විනාශයක් අපට වළක්වාගන්න පුළුවන්කම ලැබුණා.
පසුගිය අවුරුදු තුනක තුනහමාරක කාලය තුළ අපේ රජය විශාල වැඩකොටසක් කරලා තිබෙනවා. ඒ වැඩවල ප්‍රතිඵල තිබෙනවා. ඒ ප්‍රතිඵල නිවැරදි ලෙස සමාජයට ගලා එන්නේ නැහැ. සත්‍යයෙන් තොර දේවල් තමයි වේගයෙන් ව්‍යාප්ත වෙන්නේ.
අපේ රටේ ඇතැම් මුද්‍රිත මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය ආයතන රට තුළ තිබෙන නිදහස, ප්රජාතන්ත්රවාදය කොතරම් වැරදි විදියට භාවිත කරනවද කියන ප්රශ්නය අපි දකිනවා. සත්‍යයෙන් තොර දේවල්. ගැටුම් සහගත දේවල් නිතරම ඒවායේ ප්‍රචාරය වෙනවා. මාධ්‍යයේ තිබිය යුතු ගුණාත්මකභාවය කොතෙක් දුරට ඔවුන් රකිනවාද කියන ප්රශ්නය තිබෙනවා. ඒ නිසයි මම කියන්නේ අයහපත් දේ සමාජයට දීම නිසා රටේ ඇතිවන පසුබෑම් වෙනුවෙන් ඒ සෑම අංශයකම කෙනෙක් ඒ වගකීම ගත යුතු වෙනවා.”