එක්සත් ජාතික පක්ෂයත්, එජාපයට සහයෝගය දක්වන ශ්රීලනිප කණ්ඩායමත්, දෙමළ ජාතික සන්ධානයත්, ජනතා විමුක්ති පෙරමුණ යන පාර්ශ්වයන් එකට එක්ව දින නියමයක් නොමැතිව පළාත් සභා මැතිවරණ කල් දැමීමට පළාත් සභා ඡන්ද නීතිය වෙනස් කර ඇති කර බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඉදිරි දින කිහිපය ඇතුළත සබරගමුව, උතුරුමැද හා නැගෙනහිර පළාත් සභා හා සෙසු පළාත් සභාවල නිල කාලය 2018 හා 2019 වර්ෂවල අවසන්වීමට නියමිත නමුත් පළාත් සභා ඡන්ද නීතියට ආණ්ඩුව විසින් හඳුන්වා දුන් වෙනස්කම් නිසා ඡන්ද කොට්ඨාස සීමා නිර්ණය කළ යුතුය යන කාරණය පෙන්වමින් දින නියමයක් නොමැතිව සියලු පළාත් සභාවලට අයත් මැතිවරණ පැවැත්වීම ප්රමාද කිරීමට ආණ්ඩුවට ඉඩ ලැබී ඇතැයි ද එම නිවේදනයේ දැක්වෙයි.
එසේම ශ්රී ලංකාවේ නීති සම්පාදන ක්රියා පටිපාටිය මේ ආකාරයට කිසිදු කාලයකදී අවභාවිතාවට ලක්ව නොමැති බවත් පළාත් සභා ඡන්ද ක්රමය වෙනස් කිරීමෙන් පෙනී යන්නේ මැතිවරණ පැවැත්වීමෙන් වැළකී සිටීමට ආණ්ඩුව ඕනෑම දෙයක් කිරීමට සූදානම් බව යැයිද හිටපු ජනපතිවරයාගේ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.