ලන්ඩනයේ ගොඩනැගිල්ලක් ගිනි ගැනීම හේතුවෙන් මේ වනපිට පුද්ගලයන් 12 අධික පිරිසක් මියගොස් ඇති බවත්, මේ හේතුවෙන් මෙවැනි හදිසි ගිනිගැනීම් තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාවටද ගිනි කළමනාකරණ කිරීමේ අවශ්‍යතාව දැනටමත් පැනනැගී ඇති බවත් මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.
විශේෂයෙන් කොළඹ සහ ඒ අවට ප්‍රදේශ තුළ මේ වන විට ප්‍රමිතියෙන් අඩු ගොඩනැගිලි 10,000කට අධික ප්‍රමාණයක් පවතින අතර, ඇතැම් නිවාස ඒකක 30,000කට අධික ප්‍රමාණයක් කොළඹ සහ ඒ අවට මේ අයුරින්ම උස් ගොඩනැගිලිවල පිහිටා ඇති බව හෙතෙම පැවසීය.
මේ අනුව පවතින අවදානම් තත්ත්වය අනුව හදිසි අවස්ථාවක් මතුවූ අවස්ථාවක වහාම අදාළ ස්ථානය වෙත ගොස් එම හදිසි තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය ක්‍රමවේදයන් සැකසිය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"මීට අමතරව කසළ කළමනාකරණය, ජල කළමනාකරණයත් සමග ගිනි කළමනාකරණයට අපට විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ ගිනි කළමනාකරණය පිළිබඳව දැඩි නීතිරීති, ඉහළ මහල් සහිත ගොඩනැගිලි ඉදිකරන ඉදිකිරීම්කරුවන්ට ඉදිරිපත් කරන්න.
ඒ වගේම අපි සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. උස් ගොඩනැගිලිවල ඉහළ මහල්වල ජීවත් වෙනවා නම් ගිනි කළමනාකරණය පිළිබඳව ඔබට තිබෙන ආරක්ෂිත තත්ත්වයන් පිළිබඳව මනාව විමසිලිවීමකින් අනතුරුව එහි පදිංචියට යන්න"යැයි පවසා සිටියේය.