ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය කිරිම සදහා ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලා කළාපයක් ස්ථාපිත කරන බව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
ලබන ජනවාරි මාසයේ දී කර්මාන්ත ශාලා කළාපය ආරම්භ කිරීමට නියමිතය. කළුතර වැලිපැන්න ප්‍රදේශයේ එම කර්මාන්ත ශාලා කළාපය ස්ථාපිත කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි. ඒ සදහා ඉඩම් හදුනාගෙන ඇති අතර ඉදිරියේ දී එම ඉඩම් කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ආයෝජකයින්ට ලබාදෙන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
“ වසර 2020 වනවිට සියලුම ඖෂධ ලංකාවේ නිපදවීමටයි මගේ බලාපොරාත්තුව. මේ වන විට දෙස් විදෙස් ඖෂධ සමාගම් 38 ක් සමග ගිවිසුම් අත්සන් කර තිබෙනවා. ඉන් ඖෂධ සමාගම් දෙකක් තම කර්මාන්ත ශාලා මෙරට ස්ථාපිත කර අවසන්. ඒ මහනුවර සහ හොරණ ප්‍රදේශ වලයි. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව හරහා එම ඖෂධ මිල දී ගැනීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.”