මියන්මාරයේ, රඛයින් පළාතේ ඇතිවී තිබෙන රොහින්ග්‍යා අර්බුදය සම්බන්ධයෙන් ඇති තතු පැවසීමට එරට නිල නොලත් නායිකා අවුන්ග් සාන් සුඛි සූදානමින් සිටියි.
නොබෙල් සාම ත්‍යාගයෙන් පවා පිදුම් ලැබූ ඇය, මීට පෙර මෙම අර්බුදය සම්බන්ධයෙන් සිය ප්‍රථම අදහස් දැක්වීමේදී කියා සිටියේ මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය හා ඇතැම් ප්‍රජාවන් මහා බොරුවක් විශාල අයිස් කන්දක් ආකාරයෙන් මවා ඇති බවයි.
ඇය මෙම ප්‍රථම අදහස් දැක්වීමට පෙරද රොහින්ග්‍යා අර්බුදය සම්බන්ධයෙන් මුනිවත රකින බවට චෝදනා එල්ල වූ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා සිටියේ රඛයින් පළාතේ ගැටුම් නිසා ලක්ෂ 4කට ආසන්න රොහින්ග්‍යා පිරිසක් බංග්ලාදේශයට පළාගොස් ඇති බවය.
රොහින්ග්‍යා ආයුද සන්නද්ධ කණ්ඩායම් විසින් මියන්මාර පොලිස් ස්ථාන 30ක් එල්ල කරමින් පසුගිය අගෝස්තු 25දා එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරය මෙම ගැටුම් ඇතිවීමට හේතු විය. එම ප්‍රහාරයෙන් ආරක්ෂක අංශ සාමාජිකයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
අනතුරුව රඛයින් පළාතේ සන්නද්ධ කණ්ඩායම් එම පළාතෙන් අතුගා දැමීම සඳහා මියන්මාර ආරක්ෂක අංශ දැවැන්ත මෙහෙයුමක් ආරක්ම්භ කර තිබුණි.
මෙම මෙහෙයුම බොහෝ ජාත්‍යන්තර සංවිධාන හා මාධ්‍ය හඳුන්වා තිබුණේ මියන්මාරයේ සිටින සුළුතර ජන කොටසක් එරටින් අතුගා දැමීමේ මෙහෙයුමක් ලෙසිනි. නමුත්, එරට හමුදා ප්‍රධානියා කියා සිටියේ මෙසේ ලක්ෂ ගණනක් රොහින්ග්යාවරු බංග්ලාදේශයට පළා යාමට මුල්වූ අර්බුදයට ඔවුන්ම වගකිව යුතු බවයි.
රොහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාව කිසි දිනක ජනකොටසක් ලෙස නොසැලකුණු බවත්, ඔවුන් රඛයින් ප්‍රාන්තය තුළ සිය බලය තහවුරු කරගැනීමේ අරමුණින් මෙම අන්තවාදී සැලැස්ම දියත් කළ බවත් හමුදා ප්‍රධානී ජෙනරාල් මින් අවුන් හලිං අවධාරණය කරයි.
මෙම ගැටුමේදී සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ලවන බවට චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන හමුදා ප්‍රධානියා, ඔවුන් සන්නද්ධ කණ්ඩායමක ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් පමණක් සිදුකළ බව කියයි. එම නිසා මෙම අර්බුදයේ සැබෑ ස්වරූපය තේරුම්ගෙන සියලු දෙනා එක්සත්ව මීට මුහුණදිය යුතු බවද මිනයන්මාර හමුදා ප්‍රධානියා වැඩිදුරටත් පවසා සිටියි.