රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයට අයත් IL-18 යානා අනතුරින් එහි ගමන්ගත් පුද්ගලයන් සියලු දෙනාගේ ජීවිත බේරාගැනීමට හැකිවී ඇති බව රුසියාව පවසයි.
එරට වේලාවන් අලුයම 4.45 ට පමණ ටික්සි ගුවන් තොටුපොළ වෙත මෙම යානය ගොඩබාන අවස්ථාවේදී මෙම අනතුරට මුහුණදී ඇති අතර, එම අවස්ථාවේදී යානයේ පුද්ගලයන් 39 දෙනෙකු ගමන් කරමින් සිට තිබුණි.
කෙසේ වෙතත්, මීට පෙර වාර්තා වී තිබුණේ යානා අනතුරින් පුද්ගලයන් 5 දෙනෙකු පමණක් දිවි ගලවා ගැනීමට සමත්ව ඇති බවයි.
කෙසේ වෙතත්, එරට ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ මෙම අනතුරින් පසුව යානයේ කාර්ය මණ්ඩලය මෙන්ම මගීන් සියලු දෙනා ජීවතුන් අතර සිටින බවයි. කෙසේ වෙතත්, පුද්ගලයන් 16 දෙනෙකු බරපතල තුවාල ලබා සිටි බවද එම නිවේදනයේ දැක්වෙයි. ඔවුන් මුදාගැනීම් හෙලිකොප්ටර් යොදාගෙන ක්ෂණිකව රෝහල්ගත කිරීමට පියවර ගත් බවද එම අමාත්‍යාංශය පෙන්වා දී තිබේ.
IL-18 යානා සිය මුල්ම ගුවන් ගමන සිදුකර ඇත්තේ වර්ෂ 1957 වසරේදීය. මෙය දශක ගණනාවක් සොවියට් යුගයේ වඩාත් සවිශක්තියෙන් යුතු ගුවන් යානයක් ලෙසද සැලකුණි.