ගිනිඅවියක් පෙන්වා නිවසකින් රුපියල් 41,500ක මුදලක් කොල්ලකෑ බවට චෝදනා ලැබූ පුද්ගලයෙකුට හම්බන්තොට මහාධිකරණය වසර 07ක බරපතළ වැඩසහිත සිරදඬුවමක් නියම කළේය.
එම සිරදඬුවමට අමතරව රුපියල් 2,500ක දඩ මුදලක් හා රුපියල් 50,000ක වන්දි මුදලක් ගෙවන ලෙසද විත්තිකරුට නියම කෙරිණි.
මෙලෙස සිරදඬුවම් නියම වූයේ, අම්බලන්තොට, කොග්ගල්ල, මොදරපිළිවෙල පදිංචිව වීරතුංග ආරච්චිගේ මංජුල (අවු.38) නමැත්තෙකුටය.
චූදිත පුද්ගලයා2000 වසරේ අප්‍රේල් මස 21 වැනිදාගොන්නොරුව, 08 කණුව ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී ගිනිඅවි පෙන්වා නිවැසියන් බිය ගන්වා මුදල් හා රන් භාණ්ඩ කොල්ලකා පලාගොස් තිබූ අතර, නිවැසියන් විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
මේ සම්බන්ධයෙන් අධිකරණයේපැවැති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව දෙපාර්ශ්වයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූහම්බන්තොට මහාධිකරණ විනිසුරු අජිත් එම්. මාසිංහ මහතා ඊයේ(14දා) දඬුවම් නියම කළේය.
ඒ අනුව චූදිත පුද්ගලයාට වසර 07 බරපතළ වැඩ සහිත සිරදඬුවම් හා රුපියල් 2500ක දඩ මුදලක්ද නියම කෙරිණි.දඩ මුදල් නොගෙවන්නේ නම්, තවත් මාස දෙකක ලිහිල් වැඩ සහිත සිරදඬුවමක්ද නියම කෙරිණි.
මීට අමතරව අගතියට පත් පාර්ශ්වයට රුපියල් 50,000ක වන්දි මුදලක් ගෙවන ලෙසද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළ අතර, එය නොගෙවන්නේ නම් චූදිත පුද්ගලයාට තවත් ලිහිල් වැඩ සහිත මාස 06ක සිරදඬුවම් නියම කෙරිණි.
සූරියවැව- නුවන් ජයසේකර