වයස අවුරුදු 45ට අඩු රැකියා විරහිත උපාධිධාරීන් 20,000ක් සංවර්ධන නිලධාරී පුරප්පාඩු සඳහා බඳවාගෙන පුහුණු කිරීමට අදාළව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනාවකට ඊයේ (30දා) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු නිල වේබ් අඩවිය සඳහන් කරයි.
මේ අනුව ඒ සඳහා අයදුම් කර සම්මුඛ පරීක්ෂණ සඳහා පෙනී සිටි වයස අවුරුදු 45ට අඩු සියලුම රැකියා විරහිත උපාධිධාරීන්ගෙන් 5000ක් 2018 ජූලි මාසයේදී ද තවත් 15,000ක් සැප්තැම්බර් මාසයේදී ද පුහුණුව සඳහා බඳවාගැනීමට සැලසුම් කර තිබේ.
පුහුණු වන කාලය තුළ ඔවුන්ට මසකට රුපියල් 20,000ක දීමනාවක් ලබා දීමටත් ඉතිරි උපාධිධාරීන් 2019 වර්ෂයේදී අදියර වශයෙන් පුහුණුව සඳහා බඳවාගැනීමටත් පුහුණුව සම්පූර්ණ කරනු ලබන උපාධිධාරීන් සංවර්ධන නිලධාරී ව්‍යවස්ථාව යටතේ සංවර්ධන නිලධාරී පුරප්පාඩු සඳහා බඳවා ගන්නා බවත් කැබිනට් මණ්ඩල යෝජනාවේ දක්වා තිබේ.