වත්මන් ආණ්ඩුව අයවැයෙන් ලබාදුන් රාජ්‍ය සේවක වැටුප් රුපියල් 10,000කින් ඉහළ දැමීමේ පොරොන්දුවට සමගාමීව මෙම වසරේ මාර්තු මස සිට රාජ්‍ය සේවක වැටුප රුපියල් 2500කින් වැඩි කිරිමට අවශ්‍ය කැබිනට් පත්‍රිකා මේ වනවිට අනුමත වී ඇතැයි රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
එමෙන්ම ඉතිරි රුපියල් 7500 ක මුදල ඉදිරි වසර 05 තුළදී ක්‍රමයෙන් මූලික වැටුපට එකතු කිරීමට පියවර ගන්නා බවත්, ඒ අනුව වසර 05කදී රාජ්‍ය සේවකයාගේ අවම මූලික වැටුප රුපියල් 24,250 දක්වා වැඩි වන බවත් ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේ ඊයේ (25දා) රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති රජයේ කනිෂ්ඨ සේවකයන්ට රාජ්‍ය කළමනාකරණ සහකාර පත්වීම් ලිපි ප්‍රදානෝත්සවයේදීය.
රාජ්‍ය කළමනාකරණ සහකාර පත්වීම් 1286 දෙනෙකුට හිමි වූ අතර, තරග විභාගයේදී වැඩිම ලකුණු ලබාගත් 100 දෙනාට සංකේතාත්මකව අමාත්‍යවරයා පත්වීම් ලිපි ප්රදානය කළේය.
මෙහිදී අමාත්‍යවරයා පවසා සිටියේ ජාතික ආදායමෙන් 40% ක්, එනම් රුපියල් බිලියන 800 ක් දහතුන් ලක්ෂයක් වූ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් උදෙසා රජය වැය කරන බවත්, ආර්ථිකයේ පරිවර්තනීය වෙනසක් සිදු කිරීමට නම් රාජ්‍ය සේවකයා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ලබාදිය යුතු බවත්ය. ඒ සඳහා නවීන තාක්ෂණය හා බද්ධව කටයුතු කිරීමට රාජ්‍ය සේවකයන් පෙළඹිය යුතු බවද හෙතෙම අනාවරණය කළේය. මෙම උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
'වත්මන් ආණ්ඩුව බලයට පත්වුණේ හොරකම, ජඩකම, දූෂණය නැති කිරීමටයි. රාජ්‍ය සේවයත් අපි හොරකමින් ජඩකමින් දූෂණයෙන් තොර කළ යුතුයි. රාජ්‍ය සේවකයන්ට වැඩියෙන්ම වැඩ කරපු ආණ්ඩුවක් තමයි මේ ආණ්ඩුව. 2006 සිට 2015 වසර වෙනකම් හිටපු ආණ්ඩුව රාජ්‍ය සේවකයාගේ මූලික වැටුපට සත පහක්වත් වැඩි කළේ නැහැ. නමුත් වත්මන් රජය වසරක් තුළ රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000 ක වැටුප් වැඩිවීමක් ලබාදුන්නා.
1948 ශ්‍රී ලංකාව නිදහස ලබාගන්නා විට අපි දෙවැනි වුණේ ජපානයට පමණයි. නමුත් දේශපාලනික තීන්දු නිසා අද අපි පසුගාමී රටක් බවට පත්වෙලා තිබෙනවා. නමුත් අපේ රජය වසරක් තුළදී රාජ්‍ය කළමනාකරණ සහකාර පත්වීම් 3000කට වැඩි ප්‍රමාණයක් ලබාදුන්නා' යැයි ප්‍රකාශ කළේය.
ඡායාරූප - ඉසුරු පෙරේරා