ආපදාවලින් පීඩාවට පත්ව සිටින රාජ්‍ය නිලධාරීන්අපහසුතාවට පත්වන බැවින්රාජ්ය නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට ගත් තීරණය වෙනස් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගෙන් ඉල්ලා තිබේ.
මේ වනවිට දිවයින පුරා ආපදාවට ලක්වූ රාජ්‍ය නිලධාරීන් රාශියක් සිටින බවට වාර්තාවන බැවින් ඔවුන් සම්බන්ධයෙන් රජය කුමන තීරණයක් ගන්නේදැයි පැහැදිලි නොවන බවත්, අයහපත් කාලගුණය නිසා පීඩාවට පත්ව ඇති රාජ්‍ය නිලධාරීන් මෙම තීරණය නිසා කබලෙන් ලිපට වැටීමක් වන බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.
මෙම රාජ්‍ය නිලධාරීන් පිරිස අනුගමනය කළ යුතු පියවර කුමක්දැයි නොදැන අපහසුතාවට පත්ව සිටින බවට තමන් කළ සොයා බැලීමකදී පැහැදිලි වූයේයැයිද ඒ මහතා ප්‍රකාශ කරයි.
ජලගැලීම් හේතුවෙන් පාසල් වසා දමා තිබියදී රාජ්‍ය සේවකයන් වන ගුරුවරුන් කළ යුත්තේ කුමක්ද කියාත්,සිය නිවස ජලයෙන් යට වී තිබියදී රාජ්‍ය සේවකයෙකු සේවයට වාර්තා කරන්නේ කෙසේද කියාත්, එම රාජ්‍ය නිලධාරීන් සේවයට වාර්තා නොකළහොත් ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නේද කියාත් පැහැදිලි කරන්නැයිද ඒ මහතා ඉල්ලා සිටියි.