රාජ්‍ය දේපළ, පොදු දේපළ, රාජ්‍ය සම්පත් හොරකම් කරන්නවුන් එළැඹෙන ආත්මවලදී බල්ලන් හා කපුටන් බවට පත්වන්නේය යන නිශ්ශංකමල්ල සෙල්ලිපි සටහන ජනාධිපති කාර්යාලයේ සිට මැතිඇමති හා සියලු රාජ්‍ය නිලධාරීන්ගේ සියලු කාර්යාලවල පුවරු මගින් ප්‍රදර්ශනය කළ යුතු යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (08දා) යෝජනා කළේය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 125 වැනි සංවත්සර සැමරුමට සහභාගි වෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, ජනතාව අතර අත්‍යවශ්‍ය කාර්යමණ්ඩල සේවකයන් හිඟ ආයතනයක් වශයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවද ප්‍රමුඛත්වය ගන්නා බවයි.
එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා,
"එක් එක් යුගවලින් ගොඩනැගුණු සමාජ මට්ටම් හා සමාජ වටපිටාවන්, ආර්ථික දියුණුව, සමෘද්ධිය ශ්‍රේෂ්ඨත්වය හා විශිෂ්ටත්වය අක්ෂර විද්‍යාවත් සමග අපේ සෙල්ලිපිවල ලියැවිලා තිබෙනවා. පසුගිය දිනක කියවූ සටහනක මම දැක්කා ශ්‍රී පාද අඩවියේ නිශ්ශංකමල්ල සෙල්ලිපියේ ඇති සටහනක්. රාජ්‍ය දේපළ, පොදු දේපළ, රාජ්‍ය සම්පත් හොරකම් කරන අය ඊළඟ ආත්මයේ උපදින්නේ බල්ලන් හා කපුටන් වෙලාය කියා. නිශ්ශංක සෙල්ලිපිය ඊයේට සහ අදට කොතෙක් ගැළපේදැයි කියා මා ඔබෙන් අහනවා. ඒ නිසා මා හිතන්නේ ඒ නිශ්ශංකමල්ල සෙල්ලිපියේ තිබූ වැකිය ජනාධිපති කාර්යාලයේ සිට මැතිඇමති හා රජයේ නිලධාරීන්ගේ කාර්යාලවල පුවරුවක සටහන් වෙනවා නම් හොඳයි.
අවුරුදු 125 ක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කීර්තිමත් ගමන් මග සමරන අද දිනයේ මට ප්‍රධාන මහජන සේවකයා හැටියට යෝජනා කිරීමට ඇත්තේ එයයි. ඒ නිසා අපි ප්‍රෞඪ ජාතියක් හැටියට අනාගතය ගොඩනගන්නට මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කර ඇති සේවය හා ඉතිහාසය දුන් සාක්ෂිත් එක්ක අනාගතයේ ඉදිරියට යා යුතුයි. ජාතියක්, රටක් ගොඩනැගෙන්න අතීතය ගැන සාඩම්බරව කතා කිරීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. අතීතයේ සීමාවන් සහ ප්රබුද්ධත්වය, ශ්‍රේෂ්ඨත්වය අනාගත දරුවන්ට උදාකරලීම සඳහා ඔබ අප සෑම කෙනෙකුම කැපවිය යුතුයි" යැයි පැවසීය.
අගමැති හා පුරවිද්‍යා විෂය භාර ඇමති රනිල් වික්‍රමසිංහ අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන තනතුරු ඇතුළුව පුරප්පාඩු 42 ක් තිබෙන බවයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අලුතින් සහකාර නියෝජ්‍ය අධ්යක්ෂවරුන් බඳවා ගැනීමේ නව ක්‍රමවේදයක් සකස් කිරීමට අවශ්‍ය නම් එයද කළ යුතු බව හෙතෙම පැවසීය.
අගමැතිවරයා කී කරුණු අනුමත කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, එම පුරප්පාඩු වසර 10 හා 15 අතර කාලයක් මුළුල්ලේ හිස් වී ඇති බවත්, ප්‍රධාන තනතුරු 42 ක් හිස් වී ඇත්නම් ඒ පිළිබඳව එවකට බලධාරීන් වගකීම භාරගත යුතු බවත්ය.