ගුවන්තොටුපොළ හා ගුවන්සේවා ශ්‍රී ලංකා සමාගමට අයත් දේපළ සහ සම්පත් අයථා ලෙස පරිහණය කිරීම සඳහා මින් ඉදිරියට ඉඩනොදෙන බව වරාය, නාවික සහ ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
ගුවන්තොටුපොළ හා ගුවන්සේවා ශ්‍රී ලංකා සමාගමට අයත් රත්මලාන ගුවන් පථය සහ අහස්යාත්රාංගණය පසුගිය කාලයේදී පුද්ගලික සමාගමක් කුලී පදනම මත ලබාගෙන තිබුණි. ගුවන් නියමුවන් පුහුණු කිරීමේ පාඨමාලාවක් සඳහා එම ගුවන් පථය සහ අහස්යාත්රාංගණය එම සමාගම විසින් යොදා ගෙන තිබූ බවත් අමාත්‍යවරයා පැවසීය.
කෙසේ වෙතත් ඒ සඳහා ගුවන්තොටුපොළ හා ගුවන්සේවා ශ්‍රී ලංකා සමාගමට ගෙවිය යුතු රුපියල් මිලියන 24 කට අධික මුදලක් ගෙවීමට එම සමාගම දීර්ඝ කාලයක් තිස්සේ අපොහොසත් වී ඇත. ඒ ගැන සොයා බැලූ ගුවන්තොටුපොළ හා ගුවන්සේවා ශ්‍රී ලංකා සමාගමේ නව සභාපතිතුමා ප්රමුඛ නව අධ්යක්ෂ මණ්ඩලය එම මුදල වහාම අයකරගැනීමට කටයුතු යොදා තිබේ.
එම මුදල ගෙවන තෙක් රත්මලාන ගුවන් පථය සහ අහස් යාත්රාංගණ භාවිත කිරීමේ අවස්ථාව එම සමාගමට ලබා නොදීමටද එම සමාගම ගුවන්තොටුපොළ හා ගුවන්සේවා ශ්‍රී ලංකා සමාගමට අයත් දේපළ සහ සම්පත් අයථා ලෙස භාවිත කර ඇත්දැයි සොයා බැලීමටද නව අධ්යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ. මේ වනවිට එම සමාගමට රත්මලාන ගුවන් පථය සහ අහස්යාත්රාංගණය භාවිත කිරීම සඳහා ලබාදී ඇත්තේ තාවකාලික පදනම මත සති දෙකක කාලක් පමණි.