පසුගිය රාජ්‍ය පාලන සමයේදී රාජ්‍ය ආයතන 60ක පමණ සිදු වූ බව කියන වංචා සහ දූෂණ සිද්ධින් පිළිබඳව බරපතළ වංචා සහ දුෂණ චෝදනා පිළිබඳ ජනාධිපති කොමිසම විසින් පරීක්ෂණ ආරම්භ කර ඇත.ශ්‍රී ලංකන් එයාර් ලයින්, ශ්‍රී ලංකන් කේටරින්, රක්ෂණ සමාගම, ස.තො.ස. මෙන්ම අධිකරණ අමාත්‍යංශයේ සිදු වූ බව කියන මහා පරිමාණ වංචා සහ දූෂණ සිද්ධීන්ද ඇතුළුව මෙම රාජ්‍ය ආයතන 60 පිළිබඳව පරීක්ෂණ පවත්වන බව කොමිසම සඳහන් කරයි.
එමෙන්ම රාජ්‍ය ආයතන සියයක පමණ සිදු වූ වංචා සහ දූෂණ සිද්ධීන් පිළිබඳව කොමිසමට පැමිණිලි ලැබී තිබුණත් ඉන් පැමිණිලි 40කට අදාළව නිසි ලෙස සාක්ෂි සොයාගැනීමට නොහැකි වීම හේතුවෙන් ඒවා ඉවත දැමීමට සිදු වී තිබේ.මේ අතර, පසුගිය රාජ්‍ය පාලන සමය තුළ සිදු වූ බව කියන වංචා සහ දූෂණ සිද්ධීන් පිළිබඳ පැමිණිලි 1400ක් පමණ මේ වන විට බරපතළ වංචා සහ දූෂණ චෝදනා පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසමට ලැබී ඇතැයි එහි ලේකම් ලැසිල් ද සිල්වා මහතා 'අද'ට පැවසීය.
රාජ්‍ය බලය අනිසි ලෙස යොදා ගනිමින් රාජ්‍ය මුදල් අවභාවිත කිරීම ඇතුළු සිද්ධි පිළිබඳව මෙලෙස පැමිණිලි ලැබී ඇතැයිද, 2010 සහ 2015 අතර කාල සීමාව තුළදී මෙම සිද්ධීන් සිදුවී ඇතැයිද එම පැමිණිලිවල සඳහන් වී ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.මෙම පැමිණිලි 1400 අතුරින් පැමිණිලි 900ක් සම්බන්ධයෙන් කරන ලද මූලික විමර්ශන වලදී පැමිණිලි 600කට අදාළ තොරතුරුවල සත්‍යතාව පිළිබඳව මතු වූ ගැටලු හේතුවෙන් එම පැමිණිලි 600 බැහැර කිරීමට සිදු වූ බව පැවසූ සිල්වා මහතා ඉතිරි පැමිණිලි 300න් පැමිණිලි 100ක් පිළිබඳ මූලික විමර්ශන සිදුකළ බවද පැවසීය.
එම විමර්ශන 100න් 60ක් නිසි සාක්කි නොමැති වීම හේතුවෙන් ඉවත දැමීමට සිදු වූ බවද පැවසු සිල්වා මහතා ඉතිරි පැමිණිලි 40 පිළිබඳව සක්‍රියව පරීක්ෂණ සිදුකරන බවද පැවසීය.