රාජ්‍ය ආයතන පහළොවක සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා සහ ඉහළ නිලධාරීන්ගේ විනය විරෝධී හැසිරීම් සම්බන්ධව සිදුකළ විමර්ශන ඇතුළත් නවතම කෝප් වර්තාව අද (19දා) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, සී/ස ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම, සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව, මධ්‍යම පරිසර අධිකාරිය, මහජන බැංකුව, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව, ජාතික ලොතරැයි මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, සී/ස ඛනිජ වැලි සමාගම, භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය, සීමාසහිත හිඟුරාන සීනී කර්මානත්තායතනය, ලංකා ධීවර සංස්ථාව, ස්වාධීන රූපවාහිනි සේවය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යන ආයතන පිළිබඳව මෙම විමර්ශන වාර්තා මගින් හෙළිදරව් කර තිබේ.
රජයේ බැංකුවක් විසින් පෞද්ගලික හෝටලයට නිකුත්කළ රුපියල් කෝටි 10 ක ණය මුදලකට අදාළ පොලිය ලෙස රුපියල් හැත්තෑතුන් ලක්ෂ අසූ දෙදහක මුදලක් 2014 පෙබරවාරි 28 දා ලංකා සංචාරක සංවර්ධන අධිකාරය විසිනි ගෙවා තිබේ.
අධිකාරියට අයත් නිවාඩු නිකේතනයක කාමර 30ක් අලුත්වැඩියාව වෙනුවෙන් රුපියල් දෙකෝටි අසූ එක් ලක්ෂයක් ගෙවා ඇත.
එම මුදලින් රුපියල් එක්කෝටි දස ලක්ෂයක් ගෙවා ඇත්තේ නොකළ වැඩකොටසක් සඳහා බව අනාවරණය වී ඇත.
එමෙන්ම කල්පිටිය මාර්ගයක් ඉදිරිකිරීම සඳහා ගල් සහ බොරලු පස් කියුබ් සඳහා රුපියල් කෝටියටකට අධික මුදලක් වැය කර ඇත. එම ද්‍රව්‍ය භෞතිකව භාරගත් බවට සාක්ෂි හමුවී නොමැති බවද එම වාර්තාවේ දැක්වේ.
කල්පිටියේ කාමර 4000 ක සංචාරක නිකේතනයක් ඉදිකිරීම සඳහා රුපියල් අටකෝටි අසූ හත් ලක්ෂයක් වැය කර ඇතත් 2014/12/31 දිනට එහි එකම කාමරයක් නිමකර නොමැති බවට හෙළිවී ඇත.
මත්තල ගුවන් තොටුපළට අදාළ නිවාඩු නිකේතන ඉදිකිරීම සඳහා පෞද්ගලික පාර්ශ්වයකට රුපියල් ලක්ෂ 70 ක් ලබාදී ඇතත් එම ඉඩම රජයට අයත් ඉඩමක් බව පසුව හෙළිවී ඇත.
එහෙත් පෞද්ගලික පාර්ශ්වයකට ලබාදුන් ලක්ෂ 70 නැවත අයකර නොමැති අතර, එය වැරැදි ගනුදෙනුවක් බවට නිර්දේශ කර තිබේ.
බණ්ඩාරනායත ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් 2010 හා 2012 වර්ෂවල කිසිදු තහවුරු කිරීමක් නොකර රුපියල් දහතුන් කෝටි අනූ අට ලක්ෂක මුදලක් භාණ්ඩාගාර අරමුදලෙන් ගෙවා ඇති බව වාර්තාවේ දැක්වේ.
සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවට ලක් සතොස විසින් 2013 වසරේදී රුපියල් විසි හත්කෝටි අනූ නව ලක්ෂයක ණය මුදලක් ගෙවිය යුතුව ඇත. නමුත් ඒ පිළිබඳ ලියකියවිලි කිසිවක් හමුවී නොමැති බව කෝප් කමිටුව විසින් අනාවරණය කර තිබේ.
2014 වසරේදී කැරම් බෝඩ් 14,000 ක් සහ දාම්බෝඩ් 11,000 ක් මිලට ගෙන රුපියල් තුන්කෝටි අනූ දහසක මුදල් සතොසට අලාභ කර තිබෙන අතර, එම මුදල ගෙවන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට සඳහන් කර ඇති බවද එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.