බීමතින් වාහනයක් පදවා එය අනතුරට ලක් කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතාගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් (රථවාහන) රංග කලංසූරිය මහතා ඊයේ (27දා) නියම කළේය.
රමිත් රඹුක්වැල්ල මහතාගේ මුවින් මත්පැන් ගඳ වහනය වන බව වෛද්‍යවරයා වෛද්‍ය වාර්තාවේ සඳහන් කොට ඇතත්, ඔහු මත්පැන් පානය කොට ඇති බව එම වෛද්‍ය වාර්තාවේ සඳහන් කොට නැතැයි කී ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා ඒ අනුව කුරුඳුවත්ත පොලීසිය විසින් රමිත් රඹුක්වැල්ල මහතාට එරෙහිව ඉදිරිපත් කොට ඇති චෝදනා පහ අතුරින් චෝදනා දෙකකට ඔහු වරද පිළිගන්නා නමුත් බීමත්ව රිය පැදවීමේ චෝදනාව ඇතුළු ඉතිරි චෝදනා තුනට ඔහු වරද පිළිනොගන්නා බව දැනුම් දුන්නේය.
පසුගිය 23 වැනිදා අලුයම් කාලයේදී බීමතින් රිය පැදවීම, ලියාපදිංචි නොකළ වාහනයක් භාවිත කිරීම, ව්‍යාජ අංක තහඩු යෙදූ වාහනයක් පැදවීම, නොසැලකිලිමත් අන්දමින් රිය පැදවීම සහ අනතුරක් වළක්වා නොගැනීම යන චෝදනා යටතේ කුරුඳුවත්ත පොලීසිය විසින් රමිත් රඹුක්වැල්ල මහතාට එරෙහිව නඩු පවරා තිබිණි.
රමිත් රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණය අමතමින් කුරුඳුවත්ත පොලිසිය විසින් තම සේවාදායකයාට එරෙහිව පවරා ඇති චෝදනා පහ අතුරින් නොසැලකිලිමත් අන්දමින් රිය පැදවීම සහ අනතුරක් වළක්වා නොගැනීම යන චෝදනාවන්ට වරද පිළිගැනීමට ඔහු සූදානම් යැයි කීය.
නමුත් ඉතිරි චෝදනාවන්ට වරද පිළිගැනීමට ඔහු සූදානමක් නැතැයිද, තම සේවාදායකයාගේ මුවින් මත්පැන් ගඳ වහනය වන බව වෛද්‍යවරයා සඳහන් කොට ඇතත් ඔහු මත්පැන් පානය කොට ඇති බව එම වෛද්‍ය වාර්තාවේ සඳහන් කොට නැතැයිද කීය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි කුරුඳුවත්ත පොලීසියේ සැරයන් ඉද්දමල්ගොඩ මහතා අධිකරණය අමතමින් සැකකරු අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාවේදී අධික ලෙස මත්පැන් පානය කොට සිටි බව ඒ අවස්ථාවේදී කරන ලද පරීක්ෂණවලදී තහවුරු වූයේ යැයි කීය.
සිද්ධියෙන් පැය දෙක තුනකට පසු සැකකරු වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කරන ලද්දේ ඔහු මත්පැන් පානය කොට සිටියාදැයි හෙළි කරගැනීමට නොවන බවත්, අනතුරින් ඔහුගේ ශරීර අභ්‍යන්තරයට තුවාල සිදු වී ඇත්ද? යන්න හෙළි කරගැනීමට බවත් දැනුම්දුන් පොලීසියේ සැරයන් ඉද්දමල්ගොඩ මහතා ඒ අවස්ථාවේදී සැකකරු පරීක්ෂාවට ලක් කළ වෛද්‍යවරයා ඔහුගේ මුවින් මත්පැන් ගඳ වහනය වන බව නිරීක්ෂණය කොට ඒ බව ඔහුගේ වෛද්‍ය වාර්තාවේ සඳහන් කොට ඇතැයිද කීය.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මේ සම්බන්ධයෙන් වැඩිදුර උපදෙස් ලබාගෙන අධිකරණයට කරුණු දැනුම්දෙන ලෙස පොලීසියට නියම කරමින් මෙම පැමිණිල්ල ලබන 18 වැනිදා යළි කැඳවීමට නියම කළේය.
ඡායාරූප:රොමේෂ් ධනුෂ්ක