පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහ තමා අතර ඇතිකරගත්තා යැයි ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කළ ගිවිසුම ව්‍යාජ එකක් බවත්, ඒ සඳහා යොදා ඇති අත්සන් පවා ව්‍යාජ ඒවා බවත් සඳහන් කරමින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්පතිතුමා වෙත ඉදිරිපත් කළ ලිඛිත පැමිණිල්ල පිළිබඳව පොලිස් පරීක්ෂණ ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
'අද' කළ විමසීමකදී මේ බව සඳහන් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පොලිස්පතිවරයාට ලැබුණු ලිඛිත පැමිණිල්ල ගැන පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසට කොළඹ අපරාධ කොට්ඨාසයට ඊයේ (23දා) නියෝග කර තිබෙන බවයි.
මේ පිළිබඳව ඊයේ (23දා) පැවති මාධ්‍ය සාකඡ්චාවකදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ මැතිවරණ ව්‍යාපාරය තුළ අත්වන පරාජය විඳ දරාගත නොහැකිව තමාගේ කටහඬ සහ අත්සන යොදාගනිමින් මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණය ජයගැනීමට සූදානම් වන බවත්ය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මෛත්‍රීපාල මහතා,
“මෙම ලිපියේ දිනය යොදා තිබෙන්නේ නොවැම්බර් මස 01 දිනයි. අපි රජයෙන් ඉවත්වුණේ නොවැම්බර් 21 වැනිදායි. නොවැම්බර් මස 01 වැනිදා වනවිට අපි ආණ්ඩුවෙන් එළියට එනවද නැද්ද යන කාරණාවවත් තීරණය කර තිබුණේ නැහැ. නොවැම්බර් 01 වැනිදා වනවිට රනිල් වික්‍රමසිංහ මහතා සහ මා කිසිදු සාකච්ඡාවක් සිදුකර තිබුණේ නැහැ" යැයි පැවසීය.
“මෙවැනි නීතිවිරෝධී කූට ව්‍යාජ ලේඛන සකස් කරමින් කිසිම හිරිකිතයකින් තොරව මේ කටයුතු කරගන්නට තරම් මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය පහළට වැටිලා. මේ වනතුරු රනිල් වික්‍රමසිංහ මහතා සහ මම රහස් ගිවිසුමකට අත්සන් කරලා නැහැ. මෙවැනි තවත් කුඨ ව්‍යාපාර රැසක් සිදුකිරීමට ආණ්ඩුවේ පිරිස් සූදානම් වන බව අපට ආරංචියි. මෙයින් පෙනීයන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පරාජයයි. පරාජය වසාගන්න මේ තරම් පහත් මට්ටමේ ක්‍රියා සිදුකිරීම ලැජ්ජා සහගතයි.
මේ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයා සහ මම අධිකරණයට යෑමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ අත්සන් මෙලෙස ව්‍යාජ ලෙස යොදවා අසත්‍ය ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිතුමා සහ මැතිවරණ කොමසාරිස්තුමාවත් දැනුවත් කළා" යනුවෙන්ද මෛත්‍රිපාල සිරිසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෛත්‍රිපාල මහතාගේ අත්සන් ව්‍යාජ ලෙස යොදාගැනීමට උපුටාගෙන ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා ලෙස තමන් අත්සන් කළ ලිපිවලින් බවද හෙතෙම මෙහිදී පැවසීය.