රථවාහන අනතුරු නිසා රටට වසරකට රුපියල් බිලියන 130කට වැඩි මුදලක් අහිමි වන බවත් ගෙවී ගිය වසර 10ක කාලය තුළදී රථවාහන අනතුරු නිසා ජීවිත 24,261කට අධික ප්‍රමාණයක් අහිමි වී තිබෙන බවත් පොලිස් රථවාහන අංශයේ නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතා සඳහන් කළේය.
ගෙවී ගිය මාස 09 ක කාලයක් තුළ පමණක් රිය අනතුරු නිසා ජීවිත 2171 ක් අහිමි වී තිබෙන අතර, පසුගිය වසරේ මුල් මාස 09 ක කාලය තුළදී ජීවිත 1822 ක් අහිමි වී තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.
ඊයේ (08දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, 2014 වසර තුළදී මියගොස් තිබෙන්නේ 2440 දෙනෙකු පමණක් බවයි.
පසුගිය වසරේ පළමු මාස 09 තුළදී සිදුවූ මරණ ප්‍රමාණය සංසන්දනය කළහොත් මේ වසරේ ගෙවී ගිය මාස 09 ක කාලය තුළදී මරණ 349 කින් ඉහළ ගොස් තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.
බීමත්ව රියපැදවීම, නොසැලකිල්ලෙන් රිය පැදවීම සහ පදිකයන්ගේ වරදවල් නිසා රිය අනතුරු සිදුවන බවත්, මෙම තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා රියදුරන් සහ පදිකයින් දැනුවත් කිරීම් සිදුකරන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.
දැනුවත් කිරීම් වලට අමතරව මගීන් රැගෙන යන පෞද්ගලික, ලංගම බස්රථ රියදුරන් හා පාසල් ළමයින් ප්‍රවාහනය කරන බස් රථ හා කාර්යාල සේවා ප්‍රවාහන කටයුතු කරන සියලුම බස් රථ රියදුරන්ට මගීන් රැගෙන බස් රථ ධාවනය කරන ආකාරය පිළිබඳ පොදු පුහුණුවක් ලබාදී පසුව ඔවුන්ට බලපත්‍රයක් නිකුත් කරන බවද පවසා සිටියේය.
නියමු ව්‍යාපෘතියක් ලෙස එය රට පුරා මෝටර් රථ ප්‍රවාහන අධිකාරිය විසින් සිදුකරන අතර, බස්නාහිර පළාත් රියදුරන් වෙනුවෙන් සිදුකරනා වැඩපිළිවෙළ මේ මස 13 වැනිදා ආරම්භ කරන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.
මෙම වැඩපිළිවෙළ ආරම්භ කිරීමෙන් පසු 2016 වසර වන විට මගීන් රැගෙන යන බස්රථ රියදුරන් පොදු පුහුණු සහතිකය ලබා තිබීම අනිවාර්ය බවද ඒ මහතා පවසා සිටියේය.