හම්බන්තොට වරාය පරිශ්‍රයේදී සේවකයන් පිරිසකට පහරදීම සහ ඔවුන්ගේ රැකියා අහිමිවීමට ඉඩහැරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා පැවසීය. ලබන වසර සඳහා ඉදිරිපත්කළ අයවැයේ පළමු වෙඩි මුරය හම්බන්තොටින් ආරම්භ කර ඇති බවත්,ඉදිරි වසර ගෙවෙන්නේ කෙසේදැයි මේ හරහා අවබෝධයක් ලබාගත හැකි බවත් නාගමුව මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
ප්රජාතන්ත්රවාදය උදෙසා උද්ඝෝෂකයෝ සංවිධානය විසින් මරදාන සීඑස්ආර් ශාලාවේ කැඳවා තිබුණු මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය රජය සමයේදී රතුපස්වලදී ඇතිවූ සිද්ධියට සමාන අයුරින් හම්බන්තොට වරායේ සේවකයන් සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවද තීන්දු තීරණ ගෙන ඇති බවයි.
එකල රතුපස්වල සිද්ධිය විවේචනය කළ පුද්ගලයන් වත්මන් ආණ්ඩුව තුළ සිටින බවත්,නාවික හමුදාපතිවරයා එම ස්ථානයට පැමිණියේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරවීමට බවත් හෙතෙම පවසා සිටියේය.