යුද්ධයේදී ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ රණවිරුවන් ඉලක්ක කරමින් වත්මන් ආණ්ඩුව සිදුකරන බලපෑම්වලට විරුද්ධව පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය භාවිත කළ යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
පසුගිය රජය විසින් අභියෝගය තේරුම්ගෙන සුදුසු කණ්ඩායම නිවැරදිව තෝරාගත් බැවින්,ත්‍රස්තවාදය වසර 03කින් අවසන් කිරීමට හැකි වූ බවත්, එවැනි නිවැරදි ප්‍රතිපත්ති මාලාවක් හෝ ශක්තිමත් කණ්ඩායමක් වත්මන් රජයට නොමැති බවත් ඒමහතා කීය.
ඕනෑම රටක යුද්ධයක් පවතින විට දූෂණය වැඩිවන බවත්, පසුගිය රජය විශාල වැඩ කොටසක් ඉටු කළද එම රජය තුළද යම් යම් වැරදි තිබුණු බවත් පැවසූ හිටපු ආරක්ෂක ලේකම්වරයා, ලෝකයේ අසාර්ථක ආයතනවල ප්‍රතිපත්ති මත විශ්වාසය තබා වත්මන් රජය කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
යුද්ධය අවසන් කළ රටට නව දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දීම සඳහා දේශපාලකයන්, ව්‍යාපාරිකයන්,රාජ්‍ය සේවකයන් සහ රණවිරුවන් සම්බන්ධ කරගත යුතු බවද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
සියනෑ විද්වත් සංසදය විසින් සංවිධානය කරතිබූ විද්වත් හමුවකට ඇමෙරිකාවේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගෝඨාභය මහතා,
“අද අපේ රටේ තිබෙන අස්ථාවර තත්ත්වය, ආර්ථික අර්බුදය, සංවර්ධනය ඇනහිටීම, නීතිය හා සාමය කඩා වැටීම, අසාධාරණය,දූෂණය සහ පළිගැනීම නිසා අපේ රට අසමත් රාජ්‍යයක් බවට පත්වෙලා. මෙවැනි අර්බුදයකට රට පත්ව තිබෙන්නේපාලකයන්ගේ වැරදි, ආකල්ප මතවාද, ප්‍රතිපත්ති දර්ශනවාදයන්, නිසි ශ්‍රම බලවේගයක් නොමැතිවීම සහ නොහැකියාව යන හේතු නිසයි.
මේ රජය අනුගමනය කරන්නේ අයි.එම්.එෆ්.,ලෝක බැංකුව වැනි අසාර්ථක ආයතනවල අසාර්ථක බටහිර මතවාදයන්, නමුත් සිංගප්පූරුව, මැලේසියාව,ඉන්දුනීසියාව, දකුණු කොරියාව, වියට්නාමය, ජපානය සහ චීනය වැනි දියුණුවෙමින් පවතින රටවල් තමයි අපි අනුගමනය කළ යුත්තේ. ඔවුන් බටහිර රටවල අවශ්‍යතා අනුව කටයුතු කළේ නෑ. ජපානය වැනි බටහිරට සමීප රටක් පවා තමන්ගේ ස්වෛරීභාවය, සංස්කෘතිය සහ ඉතිහාසයට ගරු කරමින් තමයි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළේ.
අද මේ රජයට තමන්ට පවතින අභියෝගවත් හඳුනාගැනීමට පුළුවන්කමක් නෑ.ඔවුන් එකම අභියෝගය වශයෙන් හඳුනාගෙන තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා පමණයි. නමුත් පසුගිය රජයට පැවැති අභියෝග හඳුනාගන්න හැකියාවක් තිබුණා. ඒ අනුව තමයි මහින්ද චින්තනය නමැති ප්‍රතිපත්ති මාලාව එළිදකින්නේ. එය ක්‍රියාත්මක කරන්න හැකි කණ්ඩායමක් තෝරාගත හැකි වන්නේ. මේ රජයට තියෙන ප්රශ්නය තමයි තීරණ ගැනීමට නොහැකිකම සහ නිවැරදි නායකත්වයක් නැතිකම. නමුත් එදා අපි නිවැරදි ඍජු තීරණ ගත්තා.
හමුදාවෙන් විශ්‍රාම යනඅයට රැකියා ලබාදීමේ අවශ්‍යතාවක් ඇතිවූ බැවින් රක්නා ලංකා නමින් රජයේ ආරක්ෂක සමාගමක් අපි ඇති කළා. මහා භාණ්ඩාගාරයෙන් මිලියන 04ක් අරගෙන ඇති කළ ඒ සමාගම බිලියන 04ක වත්කමක් පෙන්නුවා. අපට හැකි වුණා රණවිරුවන් 4000කට පමණ සෘජු රැකියා ලබාදෙන්න. තවත් 8000කට පමණ පුද්ගලික අංශයේ රැකියා ලබාදෙන්න හැකි වුණා. අපට හැකියාව ලැබුණා විශාල ප්‍රයෝජනයක් තියෙන රාජ්‍ය ආයතනයක් ඇති කරන්න. මේ රජය බොරු චෝදනා ඉදිරිපත් කරලා ඒ ව්‍යාපෘතිය අසාර්ථක කරල වහල දැම්මා.
මහින්ද රාජපක්ෂ රජය ආරම්භකළ ව්‍යාපෘති දැන් නතර වෙලා. චීනයේ කියමනක් තියෙනවා ගමක් හදන්න නම් පාරක් හදන්න ඕන කියලා.අපි දැක්කා යටිතල පහසුකම් ඇති කිරීමත් සමග දුෂ්කර පළාත් දියුණු වෙන හැටි. දැන් බොහෝවිට දියුණු වෙන්නෙ බස්නාහිර පළාත පමණයි. අපේ රටේ ඇතිවූ කැරැල්ලටත් හේතු වුණේ ඒ අසමතාවයි. හම්බන්තොට, මොනරාගල වැනි දුෂ්කර පළාත්වල යටිතල පහසුකම් ඇති කළේ ඒ නිසයි.වරාය ගුවන් තොටුපළ වැනි ව්‍යාපෘති නිසා ඒ පළාත් දියුණු වෙන්න පටන් ගත්තා. මේ ආණ්ඩුව අවුරුදු 03 ක් තිස්සේ බොරු චෝදනාකරමින් ඒ ව්‍යාපෘති නවතා දමා තිබෙනවා. එය ආර්ථිකයට විශාල හානියක්* යනුවෙන් පවසා සිටියේය.