ආණ්ඩුව රණවිරු දඩයමකට සූදානම් වනවායැයි කරන චෝදනා පිටුපස සිටින්නේ එදා බොරු චෝදනා මත රණවිරුවන් සිරගත කළ උදවියම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
අද (18) පස්වරුවේ බත්තරමුල්ල පාර්ලිමේන්තු පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස පැවති 2016 ජාතික රණවිරු සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේබව ප්‍රකාශකළේය.
මාතෘ භූමියේ ඒකීය භාවය වෙනුවෙන් ජීවිත පූජා කළ වීරෝධාර රණවිරුවන් අනුස්මරණය කිරීමට රජය නිරන්තරයෙන්ම කටයුතු කරන අතරම ආබධිත රණවිරුවන්ගේ මෙන්ම රණවිරු පවුල්වල සාමාජිකයින්ගේ සුබසාධන කටයුතු වෙනුවෙන් ද කැපවී සිටින බවත් මෙහිදී ජනාධිපතිවරයා පැවසීය.
2015 ජනවාරී 08 වනදා මේ රටේ ජනතාව නව රජය බලයට පත් කර ගත්තේ නැවත මේ රටේ යුද්ධයක් ඇතිවීම වළක්වමින් පශ්චාත් යුධ සමයක ඉටුකළ යුතු වගකීම් නිසි ලෙස ඉටු කිරීමට බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළ අතර ඒ අනුව නව රජය මේ වන විට ඉටු කරමින් සිටින්නේ ජාතික සංහිඳියා පිළිවෙත ශක්තිමත් කරමින් නැවත රට තුළ යුද්ධයක් ඇතිවීම වැළැක්වීමේ මහඟු වගකීම සහ යුතුකම බවද පැවසීය.
යුද්ධය භෞතික වශයෙන් පරාජය කිරීමෙන් පසු පශ්චාත් යුධ සමයක ඉටුකළ යුතු වගකීම් ඉටු කරමින් ජනතාවගේ සිත් අධ්‍යාත්මික වශයෙන් එක් කිරීමේ වගකීම පහසු කාර්යයක් නොවන බවද ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ජාතික සංහිඳියා වැඩපිළිවෙල ශක්තිමත් කර ගැනීමට දේශපාලනඥයින්, රණවිරුවන් මෙන්ම සමස්ථ රටවාසී ජනතාවම ඒකරාශී විය යුතු බව ද කියා සිටියේය.
ඡායාරූප - ඉශාන් සංජීව