ශ්‍රී ලංකාව සිය අපනයන ආදායම හා ආණ්ඩුවේ ආදායම් වැඩිකර නොගතහොත් දේශීය හා විදේශීය ණය ගෙවීමට දේපොළ විකිණීමට සිදුවිය හැකි යැයි අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ (2015-2020) පස් අවුරුදු තාක්ෂණ ආයෝජන සැලැස්ම ගැන වාණිජ ප්‍රජාවගේ අදහස් ලබාගැනීමට කොළඹ දී පැවති සංවාදයකදීය.එහිදී වැඩිදුරටත් ඇමතිවරයා මෙලෙස අදහස් දැක්වීය.
ශ්‍රී ලංකාව සිය ණයබර තුනී කරගනිමින් ආකර්ෂණීය වර්ධනයක් ලබාගනිමින් සිටිනා බව ප්‍රකාශ වී තිබෙනවා. දුගීකම අඩුකිරීම, විරැකියාව අඩුකිරීම ආදී ක්ෂේත්රවල යම් යම් ආර්ථික ජයග්‍රහණ ලැබී තිබෙනවා. කෙසේ වෙතත් ආණ්ඩුවේ වාර්ෂික ණය ගෙවීමේ හැකියාව ඉතාම භයානක තත්ත්වයකට ඇද වැටී තිබෙනවා.
(1977) විවෘත ආර්ථිකය රටට ගෙන එන අවස්ථාවේ ආණ්ඩුවේ වාර්ෂික මුළු ණය ගෙවීම (රු. මිලියන 1,894) ආණ්ඩුවෙ මුළු ආදායමට (රු. මිලියන 6,686) දැරූ අනුපාතය 28% කි. 1994 දී එය 55.2% දක්වාත්, 2013 දී 102% දක්වාත් වර්ධනයවී තිබේ. එහි තේරුම ආණ්ඩුවේ මුළු ආදායම වාර්ෂික ණය ගෙවීමටත් ප්‍රමාණවත් නොවන බවයි. මේ නිසා එදිනෙදා වියහියදම් මෙන්ම සංවර්ධනයට ද අදාළ මුදල් ගෙවීමට ආණ්ඩුවට තව තවත් දේශීය හා විදේශීය ණය ගැනීමට සිදුව තිබෙනවා.
විදේශීය ණය පියවන්නේ අපනයන ආදායම්වලින් ලැබෙන විදේශ මුදල් වලින්. 1977 දී විදේශීය ණය ගෙවීම අපනයන ආදායමෙන් 4.6% ක්. 2013 දී එය 16% ක් වී තිබෙනවා.