පාර්ලිමේන්තුව තුළ සිටින එජාප විරෝධී සෑම බලවේගයක්ම එකතුව රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව මුදල් පනතකින් පරාද කර මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවක් පිහිටුවීමට ක්‍රියා කළ යුතු යැයි ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ඊයේ (09දා) රත්නපුරේදී පැවසුවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වාසුදේව නානායක්කාර මහතා,
“රටට හානි කරන බලවත්ම දේශපාලන හතුරා රනිල් වික්‍රමසිංහ. මේ දේශපාලන හතුරා පරාද කරන්න ඕනෑම බලවේගයක් එක්ක අපි එකතුවිය යුතුයි. ආණ්ඩුවත් එක්ක ඉඳලා විපක්ෂයට ආ ශ්‍රීලනිප 16 දෙනාගේ සහාය ගත යුත්තේ පාර්ලිමේන්තුව තුළ රනිල් පරාද කිරීමටයි. පාර්ලිමේන්තුව තුළ බල තුලනයක් ඇති කළ යුතුයි. පොදු සතුරා පරාද කරන්න අපි උදව්ගත හැකි හැම කෙනාගෙන්ම උදව් ගත යුතුයි.
පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකේ බලයට තව අවශ්‍ය මන්ත්‍රීවරු හය දෙනයි. අපි මුදල් පනතකින් රනිල්ගේ ආණ්ඩුව පරාද කළොත් ජනපතිට සිදුවනවා ඊළඟට මන්ත්‍රීවරුන්ගේ වැඩි කැමැත්ත ඇති මන්ත්‍රීවරයාට ආණ්ඩුවක් පිහිටුවන්න කියලා ආරාධනා කරන්න.
මහින්දට තමයි වැඩි මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත. එහෙම වුණොත් මහින්දගේ නායකත්වය යටතේ ආණ්ඩුවක් පිහිටුවීමට අපිට හැකි වෙනවා“ යැයි පැවසීය.