ආර්ථිකමය වශයෙන් ගත් විට ශ්‍රී ලංකාව රටක් ලෙස මේ වන විට විශාල වශයෙන් පසුබෑමකට ලක්ව ඇති බවත් ජාති ආගම් හා දේශපාලන භේද එයට හේතුවී ඇති බවත් කථානායක කරු ජයසූරිය මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ ආගමික සහ ජාතික සහජීවනය තහවුරු කිරීමට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන පාර්ලිමේන්තු කමිටුව සංවිධානය කළ සර්ව ආගමික සමුළුව අමතමින් ඔහු මේ බව අද (19දා) ප්‍රකාශ කළේය.
එසේම සිදුවන වෛද්‍ය වර්ජන හේතුවෙන් ජනතාවට ඇතිවන පීඩාව හා හානි අතිමහත් බවත් දැනුම් නොදී කරන මෙම වැඩවර්ජන මිනිසා විසින් මිනිසාගෙන් පලිගැනීමක් ලෙස දකින බවත් ඔහු ප්‍රකාශ කළේය.
“වෛද්‍ය වර්ජන නිසා අසරණ ජනතාවට ඇතිවන පීඩාව හා ජීවිත හානි අතිමහත්ය. දැනුම් නොදී කරන වර්ජන නිසා ජනතාවට, පාසල් දරුවන්ට ඇති වන පීඩනය සුළුපටු නොවේ. මෙම සිද්ධීන් අප දකින්නේ මිනිසා විසින් මිනිසාගෙන් පලිගැනීමක් ලෙසයි. ලෝකයේ වැඩිම විරෝධතා ඇති රටක් වශයෙන් ශ්‍රී ලංකාව හඳුනාගෙන තිබෙනවා. කිසිම වැදගත්කමක් නොමැති කරුණු කීපයක් මුල් කරගෙන කිහිප දෙනෙකුට අද පාර මැද ටයර් පුච්චමින් සම්පූර්ණ ගමනාගමනය පැය ගණනකට බාධා කළ හැකියි.
අප එය දැන් දකින අලුත් රටාවකි. එවැනි සිදුවීම් මහා පරිමාණ ලෙස හුවාදැක්වීමට සූදානම් ජාත්‍යන්තර මාධ්‍ය පැය ගණනක් තුළ ලෝකයටම එම කරුණු අනාවරණය කිරීම නිසා අපේ රට වියවුල් සහගත රටක් ලෙස ලෝකය පුරාම ප්‍රචලිත වෙනවා. එවැනි රටකට සංචාරකයන්, ආයෝජකයන් පැමිණේවිද. ඒ නිසා මෙය අප විසින් වහා නිම කළ යුතු පිළිලයක්.
අද රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය විශාල වශයෙන් පසුබෑමකට ලක්ව තිබෙනවා. එයට හේතුව අපේ රටේ ඇති වූ ජාති ආගම් හා දේශපාලන භේද නිසයි. නිදහස ලබන විට ජපානයත් අප රටත් අතර දළ ජාතික ආදායමේ වෙනස එක් ඩොලරයක් පමණි. නුමත් අද එහි වෙනස ගව් ගණනින්. ලෝකයේ වැඩිම නිවාඩු ඇත්තේ අපේ රටේ වන අතර ලෝකයේ විශාලතම රාජ්‍ය සේවය ඇත්තේද අපේ රටේයි. "