රට තුළ විශාල සීනි හිඟයක් ඇති වී තිබෙන බවත්, මේ නිසා සීනි කිලෝවක මිල රුපියල් 110 - 125 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජනතා ව්‍යාපාරය සඳහන් කරයි. වෙළෙඳ පොළ සොයාබැලීමකදී සීනි මිල ඉහළ යෑමට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ සීනි කිලෝවක තොග මිල රුපියල් 93 - 95 ත් අතර ප්‍රමාණයක සිට රුපියල් 105 දක්වා ඉහළ යෑම නිසා බවද එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.
රජයේ පාලන මිලට අනුව සීනි කිලෝවක් අලෙවි කළ යුතු වන්නේ රුපියල් 93කට බවත්, එහෙත් තොග මිල රුපියල් 105 ක් දක්වා ඉහළ යෑම නිසා බොහෝ වෙළෙඳුන් සීනි අලෙවි කිරීමෙන් වැළකී සිටින බවද ඔහු පවසා සිටියේය. සීනි හිඟයක් ඇති වීම හරහා ළඟ එන උත්සව සමයේදී ජනතාව දැඩි දුෂ්කරතාවන්ට ලක්විය හැකි නිසා මෙම ගැටලුව විසඳීම සඳහා රජය විධිමත් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත් සභාපතිවරයා සඳහන් කළේය.