ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනය කිරීමට යොදාගත් බෝම්බය සැලසුම් කිරීමේදී ශ්‍රී ලංකාවෙන් උපකාරයක් ලැබී නොමැති බව ඉන්දීය මධ්‍යම පරීක්ෂණ කාර්යාංශය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා ඇත.
රජිව් ගාන්ධි ඝාතනයට අදාළව මේ වනවිට වසර 26ක් සිරගතව සිටින ඒ.ජී. පෙරරිවාලන් නමැති සැකකරු මෙම නඩුව නැවත විවෘත කරන ලෙසත් තම සිරදඬුවම අවලංගු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම පරීක්ෂණ කාර්යාංශය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කළ ප්‍රකාශයකින් මේ බව හෙළිව තිබේ.
හිටපු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීමට යොදාගත් බෝම්බය සඳහා වෝල්ට් 9 ක විදුලි කෝෂ (බැටරි) දෙකක් සැපයීමේ චෝදනා යටතේ පෙරරිවාලන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම වී ඇත.
පෙරරිවාලන් පවසන්නේ, එම විදුලි කෝෂ යොදාගත්තේ කුමන කරුණක් සම්බන්ධයෙන්ද යන්න තමන්ට අදහසක් නොවූ බවයි.
එසේම මෙම බෝම්බය ශ්‍රී ලංකාවේදී නිර්මාණය කළ පුද්ගලයාගෙන් මේ දක්වා ප්‍රශ්න කර නොමැති බවද පෙරරිවාලන් ශ්‍රේෂ්ඨාධිකරණයට පවසා ඇත.
මධ්‍යම පරීක්ෂණ කාර්යාංශය සඳහන් කර ඇත්තේ, රජිව් ගාන්ධි ඝාතනය කිරීමට යොදාගත් බෝම්බය පසුපස කුමන්ත්‍රණය පිළිබඳව පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකාවේ අදාළ අංශ වෙතින් ප්‍රමාණවත් සහායක් නොලැබුණු බවයි.
එන්.ඩී.ටී.වී. ඇසුරෙනි