අයවැය ඉක්මවා ගිය රාජ්‍යයක වියදම් නිසා රජයට මේ ආකාරයට බැඳුම්කර වෙන්දේසි මගින් මුදල් සොයාගැනීමට සිදුව ඇතැයිද රජයේ වියදම් අඩුකර ගත්තා නම් මේ තත්ත්වය උද්ගතවීමට ඉඩ තිබුණා යැයි රජයේ විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසා සිටියේය.
වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීමට පත් කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්කි දෙමින් අද (13දා) ඒ මහතා මෙසේ පවසා සිටියේය.
ජනතාවට බදු ගහන එක සහ අලුතින් සල්ලි මුද්‍රණය කරන එක පැත්තකට දාලා නියමිත දිනවල කල්පිරෙන අන්දමට භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම මගින් අපේ රටේ ආර්ථිකය ගොඩගැනීමට හැකියාව තියෙනවා නේදැයි කොමිසමේ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රජයේ විගණකාධිපතිවරයා මේ බව හෙළි කළේය.
2015 පෙබරවාරි මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීමට පත් කොට ඇති මෙම ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්කි දීමට පැමිණෙන ලෙස කොමිසමෙන් කළ දැනුම් දීමකට අනුව රජයේ විගණකාධිපති ගාමිණි විරේසිංහ මහතා කොමිසම හමුවේ පෙනී සිටියේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී.චිත්‍ර ප්‍රේමසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරේ.
මෙහි පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතාගේ මෙහෙයවීම යටතේ සාක්කි දෙමින් රජයේ විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් මගින්ම මුදල් සොයා ගැනීමට රජයට අවශ්‍යතාවක් නැතැයි විජේසිංහ මහතා පැවසීය.
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් හැර මුදල් සොයා ගැනීමට රජයට වෙනත් ක්‍රම රාශියක් ඇති බව කොමිසම හමුවේ හෙළි කළ විගණකාධිපති ගාමිණී විරේසිංහ මහතා රාජ්‍යයට වියදම් අඩුකර ගැනීම මගින් ඉල්ලන ණය මුදල් අඩුකර ගැනීමට රජයට හැකියාව ඇති බවද මෙහිදී පෙන්වා දුන්නේය.