යූරෝ 4 ප්‍රමිතියේ ඉන්ධන වෙළෙඳ පොළට හඳුන්වා දීමෙන් ඔක්ටේන් 92 පෙට්ට්‍රල් හෝ ලංකා ඔටෝ ඩීසල් වෙළෙඳ පොළෙන් ඉවත් නොවන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා පවසයි.
ඔහු අවධාරණය කරන්නේ ලබන මාසයේ සිට හඳුන්වා දීමට අපේක්ෂිත යූරෝ ෆෝ ප්‍රමිතියේ ඔක්ටේන් 95 පෙට්ට්‍රල් සහ යූරෝ ෆෝ ප්‍රමිතියේ සුපර් ඩීසල්වලද මිල වැඩිවීමක් සිදු නොවන බවයි.
දැනට භාවිත කරන ඔක්ටේන් 95 පෙට්ට්‍රල් සහ ලංකා සුපර් ඩීසල්වල මිල ගණන් යටතේම යූරෝ ෆෝ ප්‍රමිතියේ ඔක්ටේන් 95 පෙට්‍රල් සහ යුරෝ ෆෝ ප්‍රමිතියේ සුපර් ඩීසල් පාරිභෝගියාට ලබාදෙන බවද උපාලි මාරසිංහ මහතා පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා,
“යුරෝ ෆෝ කියන්නේ යුරෝපා කොමිසම අනුමත කළ ප්‍රමිතියක්. එම ප්‍රමිතිය යටතේ නිෂ්පාදනය කෙරෙන ඉන්ධනවල පරිසර හිතකාමී බව ඉතාම ඉහළ මට්ටමක තියෙනවා. එම ඉන්ධන යෙදීමෙන් වාහනවල කාර්යක්ෂමතාවත් බොහෝ සේ ඉහළ යනවා. කල්පැවැත්මත් වැඩියි. එම ප්‍රමිතියෙන් යුත් ඉන්ධන මෙරට වෙළෙඳ පොළට නිකුත් කිරීමට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයත්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් ඉදිරි මාසයේදී කටයුතු කරනවා.
එහිදී අපි මුලින්ම හඳුන්වා දෙන්නේ යූරෝ ෆෝ ප්‍රමිතියෙන් යුත් ඔක්ට්‍රේන් 95 ප්‍රෙට්ටල් සහ යූරෝ ෆෝ ප්‍රමිතියෙන් යුත් සුපර් ඩීසල්. එම ඉන්ධන අපි සාමාන්‍යයෙන් හඳුනා ගන්නේ යූරෝ ෆෝ ඔක්ටේන් 95 පෙට්ට්‍රල් සහ යූරෝ ෆෝ සුපර් ඩීසල් ලෙසින්. ඒ සමඟම අපි දැනට භාවිත කරන සාමාන්‍ය ඔක්ට්‍රේන් 95 පෙට්‍රල් සහ සාමාන්‍ය සුපර් ඩීසල් වෙළෙඳ පොළෙන් ඉවත් වෙනවා. කෙසේ නමුත් දැනට අපි භාවිත කරන ඔක්ටේන් 92 පෙට්ට්‍රල් සහ ඔටෝ ඩීසල් වෙළෙඳ පොළේ වෙනදා විදියටම සුලබව තියෙනවා. ඒවා වෙළෙඳ පොළෙන් ඉවත් වන්නේ නැහැ.” යැයි පැවසීය.