යුරෝපයෙ ප්‍රබලම රාජ්‍ය ලෙස සැලකෙන ජර්මනියේ බර්ලීන් නුවර කාර් බෝම්බයක් පිපිරීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
බර්ලීන් පොලීසිය මේ සම්බන්ධයෙන් දැනටමත් පරීක්ෂණ අරඹා ඇති අතර, සිද්ධියෙන් එම මෝටර් රථයේ රියදුරා ජීවිතක්ෂයට පත්විය.
ජර්මනියේ බර්ලීන් නුවරට බටහිරින් වූ චැරල්ටනර්බර්ග් සිට නගර මධ්‍ය දක්වා ගමන් කරමින් තිබූ මෝටර් රථයක මෙම බෝම්බ පිපිරීම සිදුව ඇති අතර, පිපිරීමත් සමග මෝටර් රථය ඉහළට එසවී මෙම පිපිරීම සිදුවූ බවත් පැවසෙයි.
ප්‍රදේශයේ ජනතාවට තම ජනෙල් දොරවල් වසාගෙන නිවෙස් තුළම රැඳී සිටින ලෙස පොලීසිය මුලින් අවවාද කර තිබුණත්, බෝම්බ නිශ්ක්‍රීය අංශ පැමිණීමෙන් පසුව තවත් පුපුරණ ද්‍රව්‍ය නොමැති බව තහවුරු කර තිබේ.
උදෑසන කාර්ය බහුල අවස්ථාවකදී මෙම පිපිරීම සිදුව ඇති අතර, මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
සිරියාව හා ඉරාකය මෙන්ම මැදපෙරදිග කලාපයේ ක්‍රියාත්මක ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගේ ක්‍රියාකලාපයන් සමග යුරෝපය වෙත වැඩි වශයෙන් සංක්‍රමණිකයන් ඇදි එන පරිසරයක මෙම බෝම්බ පිපිරීම සිදුව තිබේ.
කෙසේ වෙතත්, මීට පෙර ප්‍රංශය ඉලක්ක කරගෙනද ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් ප්‍රහාර දියත් කර තිබුණු නිසා මෙම පිපිරීමේ වැඩි සැකය ඔවුන් වෙත එල්ල වී ඇති අතර, මේ වනවිට ජර්මනියට ඇතුළු වී සිටින සංක්‍රමණිකයන් සමග ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ද සිටින බවටද චෝදනා නැගෙයි.