යුධ ජයග්රහණයෙන් පසුව රාජපක්ෂ රජය හැසිරුනු ආකාරය ඉතාම නරකයි යනුවෙන් පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා බේරුවල වෙරළ ක්‍රිඩාංගණයේ පැවති විශේෂ රැස්වීමකදී පැවසීය.
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා “රාජපක්ෂවරුන් එක්ක මගේ පෞද්ගලික තරහක් නැහැ. දේශපාලන ගැටුමක් විතරයි තිබෙන්නේ. බැසිල් රාජපක්ෂ මගේ පන්ති මිතුරා, ගෝඨාභය රාජපක්ෂත් එහෙමයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වසර 40 ක මිතුරෙක් එම නිසා පවුලේ සියලු දෙනාම මම අදුරනවා. 2015 වසරේ ජනවාරි 08 වනිදා පැවැති මැතිවරණයේ ප්රචාරක කටයුතු මටත් විමල් වීරවංශටත් බාරදෙන්න තමයි බැසිල් රාජපක්ෂ මහතා සැළසුම් කර තිබුනේ. නමුත් රාජපක්ෂ රජය ගෙනගිය වැඩපිළිවෙලට මම විරෝධය පළ කළා. ත්‍රස්තවාදය තුරන් කිරීමට මම සහයෝගය ලබාදුන්නා. යුධ ජයග්‍රහණය පිළිබදව මාධ්‍ය හමුවේ කරුණු ඉදිරිපත් කළේ මමයි. ජනතා ප්‍රශ්න වලට පිළිතුරු ලබාදුන්නා. නමුත් යුධ ජයග්රහණයෙන් පසු රජය හැසිරුණු ආකාරය ඉතාම නරකයි. ජාතිවාදය, ආගම්වාදය, මනුෂ්‍ය ඝාතන වලට විරුද්ධව මම අදහස් පළ කළා.”
“මහා පරිමාන වංචා, දුෂණ සිදු කළා. ඒ පිළිබද පරීක්ෂණ අපේ රජය විසින් ආරම්භ කළ අවස්ථාවේ දී හිටපු අධිකරණ අමාත්‍යවරයා එම පරීක්ෂණ මන්දගාමී කළා. ඉන් පසුව පත් කළ අධිකරණ අමාත්‍යවරිය එම පරික්ෂණ වේගවත් කිරීමට පියවර ගත්තා. හිටපු අධිකරණ අමාත්‍යවරයා රාජපක්ෂලා සමග ගණුදෙණු කරමින් තමයි පරීක්ෂණ මන්දගාමී කළේ. වර්තමානයේ මැතිවරණ කොමිසම ශක්තිමත් කර තිබෙනවා. අද මැතිවරණ කොමිසමේ සභාපතිවරයාත් ශක්තිමත්ව කථා කරනවා. රාජපක්ෂ පාලන සමයේ දී කථා කළා නම් මරණ තර්ජනත් එල්ල වෙනවා. අද නිදහසේ අදහස් දැක්වීමට අවස්ථාව ලැබී තිබෙනවා.” යනුවෙන්ද සඳහන් කළේය.
මෙම රැස්වීමට එක්සත් ජාතික පක්ෂයේ බේරුවල ප්‍රධාන සංවිධායක ඉෂ්ඨිකාර් ජමීල්, සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය, බේරුවල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති කුෂ්මන් ද සිල්වා මහතා ඇතුලු අපේක්ෂකයින්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්යක්ෂ ආචාර්ය එච්.එම්.එම් රූම් මහතා ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.