හමුදා සෙබළුන් පිරිසක් සමග ආගමික කටයුත්තක් සඳහා කතරගම පැමිණි යුද හමුදාකපිතාන්වරයෙකුට සුදු පැහැති වෑන් රථයකින් පැමිණි හතර දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊයේ (11දා) පෙරවරු 7.00ට පමණ කතරගම රථගාලකදී පහරදී පලාගිය බවට පහරකෑමට ලක්වු කපිතාන් මහදුරගේ හර්ෂණදිව කුමාර මහතා කතරගම පොලීසියට පැමිණිල්ලක් කොට තිබේ.
තඹුත්තේගම කළුන්දෑව 19 වන ජාතික ආරක්ෂක බළමුළුවේ ක්‍රිකට් හා කබඩි අංශයන්ට අයත් සෙබළුන් 26 දෙනෙකු සමග කතරගම පැමිණ පුජාවක් පවත්වා ආශිර්වාද ලබාගෙන කතරගම ඩිපෝ මාර්ගයේ වාහන නතර කර තිබූ රථගාලට පැමිණි අවස්ථාවේ සුදුවෑන් රථයකින් පැමිණි තරුණයන් හතර දෙනෙකු පොලුවලින් හා අතින් පයින් වටකර එකපාරටම පහරදී පලාගිය බවත්, එක් අයෙකු හමුදාවෙන් පලාගිය පැතුම් කුමාර යන අයෙකු බවටත් කතරගම පොලීසියට පැමිණිලිකොට ඇත.
පහර කෑමට ලක්වූ කපිතාන්වරයාට කතරගම රෝහලින් ප්‍රතිකාර ලබාගත යුතු වුවද ඔහුගේ ආරක්ෂාව උදෙසා වෙනත් මහරෝහලකින් ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය බව දන්වා පොලීසියෙන් පිටව ගොස් ඇත.
මෙම සිද්ධිය සැලවීමත් සමගම කතරගම වැඩ බලනපොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.ජී.එස්. සංජිව මහතා අවට පොලිස් ස්ථාන රැසකට තොරතුරු ලබාදී සැකකරුවන් සහිත වෑන් රථය අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් කණ්ඩායම් දෙකක් යොදවා තිබේ.
ආරියපාල රත්නායක - කතරගම