යාල ජාතික වනෝද්‍යානයේ සිටි දැවැන්ත ඇතෙකු ඝාතනය කර එම ඇතාගේ ගජමුතු දෙකක් රුපියල් ලක්ෂ 70කට අලෙවි කිරීමට දඹුල්ලට පැමිණි පුද්ගලයන් තිදෙනෙකු ඊයේ (23දා) අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බුත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකි. ඔවුන්ගෙන් දෙදෙනෙකු දෙමස්සිනන් වන බවත්, අනෙක් පුද්ගලයා එක් සැකකරුවෙකුගේ මාමණ්ඩිය බවත් පොලීසිය පැවසීය.
පොලිස් විශේෂ කාර්යාංශයේ දඹුල්ල ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත අදාළ ගජමුතු මිලදී ගැනීමේ මුවාවෙන් උපාය දූතයෙකු ලවා සැකකරුවන් වන දෙමස්සිනාලා දෙදෙනා ඓතිහාසික රංගිරි දඹුල්ල රාජමහා විහාරයේ ආසන්නයට ගෙන්වා ගෙන මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
පසුව ඔවුන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්නකිරීම්වලින් අනතුරුව මෙම ගජමුතු දෙකෙහි හිමිකරු බව පැවසෙන සැකකරුවන්ගේ ඥාති පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
යාල ජාතික වනෝද්‍යානයේ සිටි දැවැන්ත ඇතෙකු ඝාතනය කර මෙම ඇත්දළ යුගල තුළ තිබූ ගජමුතු ලබාගත් බව ගනුදෙනුවට පෙර පොලිස් නිලධාරීන්ට මෙම සැකකරුවන් පවසා තිබිණි.
සැකකරුවන්ගෙන් කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් පසු ඝාතනය කරන ලද බව පැවසෙන ඇතාගේ දළ යුගලය සොයා ගැනීමට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.