යාපනය මල්ලාකම් මංසන්ධියේදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියේ ගැටුම් ඇති කරගත් දෙපිරිසෙන් පුද්ගලයන් 05 දෙනෙකු අද (18දා) උදෑසන අත්අඩංගුවට ගත් බව චුන්නාගම් පොලීසිය පැවසීය.
මල්ලාකම් කතෝලික දේවස්ථානය ඉදිරිපිට තරුණයන් දෙපිරිසක් අතර ඊයේ (17දා) ඇති වූ ගැටුමේදී පහරදීම් සිදුකළ පුදගලයන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
මල්ලාකම් දේවස්ථානය අසල ඇති වූ ගැටුමක් නිරාකරණය කිරීමට ගිය පොලිස් නිලධාරිවරයෙකුට එහි සිටි පුද්ගලයෙකු විසින් පහරදී පොලිස් නිලධාරියා සතුව තිබූ පිස්තෝලය උදුරා ගැනීමට උත්සාහ දරා ඇති අතර එහිදී පොලිස් නිලධාරීවරයා විසින් ආත්ම ආරක්ෂාව වෙනුවෙන් පහරදීමට පැමිණි පුද්ගලයාට වෙඩි තැබීම සිදු කොට තිබේ.
මෙම වෙඩි තැබීමෙන් 25 හැවිරිදි සුදර්ශන් කුලමන්කාල් නමැත්තා ජීවිතක්ෂයට පත්විය.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් අද (18දා) මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කෙසේ වෙතත් අදාළ වෙඩි තැබීම හේතුවෙන් මල්ලාකම් ප්‍රදේශයේ පැවති නොසන්සුන් තත්ත්වය මේ වන විට සාමාන්‍ය අතට පත්ව ඇති අතර පොලිස් ආරක්ෂාව තර කොට තිබෙන බව පොලීසිය සඳහන් කරයි.