ආණමඩුව කොට්ටුකච්චිය ප්‍රදේශයේ නිවසක මාස කිහිපයක සිට රැදී සිටි යකැදුරෙකුගෙන් ළය විරේකයක් කර ගත් එකම පවුලේ දියණිය සහ පියා මරණයට පත්ව ඇති බව පුත්තලම සහ හලාවත මූලික රෝහල්වලදී සිදුවූ හදිසි මරණ පරික්ෂණ වලදී අණාවරණය වී තිබේ.
මෙසේ මරණයට පත්ව ඇත්තේ නො, 520 රාජපක්ෂපුර, සීදුව ලිපිනයේ පදිංචිව සිටි මල්නයිදෙගේ තුෂාරි සංජීවා ප්‍රනාන්දු (39) තිදරු මවක් හා අංක 80/1, බණ්ඩාරවත්ත, සීදූව ලිපිනයේ පදිංචිව සිටි ලයනල් ප්‍රනාන්දු (60) යන දෙදෙනා බව පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී තිබුණි.
මරණයට පත්ව ඇති දියණිය හා පියා පවුලේ හිතවතුන් හා දරුවන් සමග සතියකට පෙර කොට්ටුකච්චිය 10 කණුව ප්‍රදේශයේ යකැදුරා තාවකාලිකව රැදී සිටින ස්ථානයට පැමිණ ඇති බවත්, එහිදී යකැදුරාගේ උපදෙස් මත මොවුන්ගේ නිවෙස් වල හා මොවුන්ට සිදු කර ඇති බන්ධන හා කොඩිවින ඉවත් කිරීමට යැයි පවසමින් තැඹිලි ගෙඩි වලට විවිධ ඖෂධ හා පිටි කිරි දමා බීමට දී ඇති බවත්, එය පානය කිරීමෙන් පසු මොවුන් දැඩි ලෙස අසාධ්‍යව සිටීමෙන් පසු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව කියයි.
අසාධ්‍ය ලෙස සිටි දියණිය පුත්තලම රෝහලට ඇතුළත් කර බාහිර රෝගි අංශයේ ප්‍රතිකාර ලබමින් සිටියදී (18) වන දින මරණයට පත්ව තිබූ අතර, පියා හලාවත රෝහලට ඇතුළත් කර අසාධ්‍යව සිටීමෙන් පසු කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබූ බවත්, පසුව නැවත හලාවත රෝහලට රැගෙන විත් තිබියදී ඊයේ (22දා) මරණයට පත්ව ඇති බවත් පොලිස් පරික්ෂණ වලදී හෙළිව තිබේ.