මාතලේ පලාපත්වල නිල්දිය උයන ප්රදේශයේ රාත්රී මුර සංචාරයේ නිරත පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකු ඊයේ (18දා) රාත්රීයේ මෝටර් රථයක ගැටී සිදු වූ අනතුරෙන් සැරයන්වරයා ජීවිතක්ෂයට පත්ව කොස්තාපල්වරයා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
මෙලෙස මියගොස් ඇත්තේ දඹුල්ල තිත්තවැල්ගොල්ල ප්රදේශයේ පදිංචි මලවිආරච්චි නමැති පොලිස් සැරයන්වරයෙකි.
අනතුරට පත් නිලධාරීන් දෙදෙනා මාතලේ පොලීසියට අනියුක්තව රාජකාරියේ නිරතව සිට ඇති අතර මාතලේ පලාපත්වල නිල්දිය උයන ප්රදේශයේ රාත්රී මුර සංචාරයේ යෙදෙමින් ප්රධාන මාර්ගය අසල රැඳී සිටියදී එකවරම අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් නිලධාරීන් දෙදෙනා යට කරගෙන ගොස් මෝටර් රථය විදුලි කණුවක ගැටී ඇති බව අනාවරණය වී තිබේ.
දඹුල්ල ප්රදේශයේ සිට පොල්ගොල්ල ප්රදේශයට මෙම මෝටර් රථය අධික වේගයෙන් ධාවනය වී තිබෙන බවත් රියදුරුට නින්ද යෑම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවත් වැඩිදුර පරීක්ෂණවලින් හෙළිව ඇති අතර තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා මේ වන විට මාතලේ මහ රෝහලේ ප්රතිකාර ලබමින් සිටියි.