හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතාට විදේශගතවීමට නොහැකි වන ලෙස ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අත්හිටුවීමට නියෝගයක් ලබාදෙන්නැයි ඉල්ලමින් නීතිඥවරයෙක් ඇතුළු දෙදෙනෙක් අභියාචානාධිකරණයට ඊයේ (02දා) පෙත්සමක් ඉදිරිපත් කළහ.
හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා නීතිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී රුපියල් කෝටි 62කට ආසන්න බදු වංචාවකට ආධාර හා අනුබල දුන්නේ යැයි කියන සිද්ධියට අදාළව කළ පැමිණිල්ල සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන ලෙස අල්ලස් කොමිසමට රීට් ආඥාවක් නිකුත් කරන ලෙසද අදාළ පෙත්සම මගින් ඉල්ලීමක් කර ඇත.
මාකොළ පදිංචි ටී.ආර්. රත්නසිරි මහතා සහ හිටපු රේගු අධිකාරීවරයෙකු වන නීතිඥ නයනානන්ද කොඩිතුවක්කු මහතා විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන ලද මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අල්ලස් කොමිසමේ සභාපති එස්. බාලපටබැඳි, එම කොමිසමේ සෙසු අධ්යක්ෂවරුන් වන එල්.කේ. විමලචන්ද්‍ර, ජයන්ත වික්‍රමරත්න, ගනේෂ් ධර්මවර්ධන සහ ලක්ෂ්මන් විජේතුංග මහත්වරුද, හිටපු නීතිපතිවරයෙකු වන මොහාන් පීරිස් මහතා සහ නීතිපතිවරයාද නම් කර ඇත.
මොහාන් පීරිස් මහතා නීතිපතිවරයා ලෙස කටයුතු කරන අතරතුර රුපියල් මිලියන 619 කට අදාළ බදු වංචා සිද්ධියකට ආධාර හා අනුබල ලබාදී ඇතැයිද ඒ සම්බන්ධයෙන් තමන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළත් ඒ පිළිබඳව මෙතෙක් නිසි පරීක්ෂණයක් සිදුකර නැතැයි පවසන පෙත්සම්කරුවෝ, මේ පිළිබඳව කඩිනමින් පරීක්ෂණ සිදුකරන ලෙස අල්ලස් කොමිෂමට නියම කරමින් රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියහ.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අතරතුර වගඋත්තරකාර මොහාන් පීරිස් මහතා විදේශගතවීමට ඉඩ ඇති හෙයින් මේ පිළිබඳ විභාගයක් පවත්වා තීන්දුවක් ලබා දෙනතුරු ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අත්හිටුවන්නැයි පෙත්සම්කරුවෝ වැඩිදුරටත් ඉල්ලා සිටියහ.
බුද්ධිමල් රුබේරු/ලක්මාල් සූරියගොඩ