හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මෙන් වත්මන් ජනපති මෛත්රීපාල සිරිසේන මහතාද තම බලය රැක ගැනීම වෙනුවෙන් වැරදි පුද්ගලයින් ආරක්ෂා කරන බව ප්රවීණ සිනමාවේදී ආචාර්යය සෝමරත්න දිසානායක මහතා පවසයි.
අද පුවත්පත හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.එසේම වත්මන් පාලනයෙන්ද බලාපොරොත්තු වූ අලුත් දේශපාලන සංස්කෘතිය ඇතිවේවි යැයි නොසිතන බවත් ඔහු පැවැසීය.
“මේ කණ්ඩායමෙන් අපි බලාපොරොත්තු වෙන අලුත් දේශපාලන සංස්කෘතිය ඇතිවේවි කියලා මම කවදාවත් හිතන්නෙ නැහැ. මෛත්රීපාල සිරිසේන මහතාට වෙලා තියෙන්නෙත් මහින්ද රාජපක්ෂ මහතාට වෙච්ච වැඩේමයි. මහින්ද මහත්තයා මොකක්ද කළේ. තමන් අනුමත නොකළත් තමන්ට බලයේ රැඳී සිටීම සඳහා වැරදි පුද්ගලයන් අරක්ෂා කරමින් ළඟ තබා ගත්තා.
තමන්ගේ බලය පිරිහේවි කියලා හිතලා මෛත්රීපාල සිරිසේන මහතා කරන්නෙත් ඒකමයි. ඔහු හොඳටම දන්නවා වැරදි කළ සියලුදෙනාම කවුද කියලා. හැබැයි ඔහු ඔවුන් හැමදෙනාම ආරක්ෂා කරනවා තමන්ගේ බලය පිරිහේවි කියන බයට.
රනිල් වික්රමසිංහ මහතාටත් මේ පිළිවෙත අනුගමනය කරන්න වෙනවා තම බලය රැකගැනීම වෙනුවෙන්. මේවා රට වෙනුවෙන් කරන අරගල නෙවෙයි. මෙය තමන්ගේ බලයේ පැවැත්ම වෙනුවෙන් කරන අරගල. මගේ විකල්පයක් තියෙනවා. හැබැයි ඒක ටිකක් බරපතළයි. මේක මගේ හීනයක්. හැබැයි කරන්න බැරි දෙයක් නොවේ. ඇත්තටම මේ රටට ආදරේ කරන මේ රටේ පවතින දූෂණ වංචා පැහැදිලිවම අවබෝධකරගත් නිවැරදි අවබෝධයක් තිබෙන උගතුන් බුද්ධිමතුන් මේ රටේ එමට ඉන්නවා, නිහඬව.
ඔවුන් රටේ පවතින අප්රසන්න දේශපාලන තත්ත්වය දැකලා පිළිකුල් සහගතව එය බැහැර කරලා මොනම අන්දමකින්වත් ඒ ගැන කතා නොකර නිහඬව ඉන්නවා. අපේ රටේ මේ දූෂිත දේශපාලනයෙන් රට ගලවා ගන්න මම කියපු අර නිහඬව ඉන්න උගතුන්, බුද්ධිමතුන් මැදිහත්වෙලා මේ පාලක පන්තියට දැඩි බලපෑමක් කරන්න ඕන. යම් මැදිහත්වීමක් වෙන්න ඕන. එක්සත් ජාතික පක්ෂය හා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ තට්ටු මාරු දේශපාලනයෙන් රට මුදවා ගැනීමයි දැන් කළ යුත්තේ”
පද්මකුමා බී මෙත්තසේන