'පොදු අපට මෛත්‍රී' යන තේමාව යටතේ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ සංවිධානය කළ ජන රැලියක් අද (04දා) මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මෙහිදී අදහස් දැක්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා
"මේ රට අද කුමන විදියේ ගමනක් යනවාද කියලා බලන්න. ඒ නිසා මේක මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයාට එරෙහිව කරන සටනක් හෝ පක්ෂයකට එරෙහිව කරන සටනක් නොවෙයි. ඒකාධිපතිවාදයට එරෙහිව ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් කරන සටනක්. රාජාණ්ඩුවාදයට එරෙහිව ජනරජවාදය වෙනුවෙන් කරන සටනක්. දූෂණයට, වංචාවට එරෙහිව යහපාලනය ගෙන එන්න කරන සටනක්. වෛරී පාලනයට එරෙහි මෛත්‍රී පාලනයක් ගෙනඑන්න කරන සටනක්.
ඒ නිසා තමුන්නාන්සේලාට තීරණය කරන්න වෙලා තියෙන්නේ ඉදිරි ජනවාරි 08 වැනිදා ජනාධිපතිවරණයේදී තමුන්නාන්සේලාගේ ඡන්දය ගෞරවනීය ලෙස පාවිච්චි කිරීමේදී පවුලක් රකිනවද? රට රකිනවද? කියන කාරණාවයි.
දැන් බලන්න, අද මේ රටේ රාජ්‍ය භාණ්ඩාගාරය සම්බන්ධයෙන් කරන කටයුතුවලදී ටෙන්ඩර් ක්‍රමය සම්පූර්ණයෙන් දූෂිතයි. ඒ විතරක් නෙමෙයි බොහෝ ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් කැඳවන්නේ කැබිනට් මණ්ඩලයේ තීරණවලට. බොහෝදෙනා මගෙන් අහනවා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව ගෙදර ගියහම මේ කරන සංවර්ධන නවතීද කියලා.
මම බොහොම පැහැදැලිව කියනවා මේ ආණ්ඩුව තුළ කරන වැයකිරීම්වලින් මේ ඇස්තමේන්තු වගේ දෙගුණයක වැඩ කරන්න පුළුවන්. අපි එය කරලා පෙන්නනවා. අද වැයකරන මුදලින් වැයවෙන්නේ තුනෙන් එකයි. ඉතිරි දෙක දූෂණයට, වංචාවට, හොරකමට. ඒකයි අපි මේ පාලනය වෙනස් කළ යුත්තේ" යැයි පැවසීය.
"මේ වගේ දූෂණය, වංචාව ගැන කතා කරනකොට මගේ කට වැහුවෙ මීට වසර 03කට පෙරයි. ඒවා කතාකරනවා නම් ආණ්ඩුවේ ඉන්න බෑ, විපක්ෂය තියෙනවා ඒවා කතා කරන්න කියලා කිවුවා මිත්‍රවරුනි. නිවටකමට ජීවත් වෙනවාට වැඩිය යහපාලන, ප්රජාතන්ත්රවාදය, සත්‍යය වෙනුවෙන් ජීවිතය වුණත් පූජා කරන්නයි මම තමුන්නාන්සේලා ඉදිරියට ආවේ කියලා ඉතා පැහැදිලිව කියන්න ඕන.
මේ නිසාමද කොහෙද සමහරු අහනවා ආණ්ඩුවෙන් එළියට බැස්සෙ බය නැද්ද කියලා. පොළොන්නරුවේ රජ කළ විජයබා රජතුමාගේ ලේවලින් බිහිවෙච්ච පරපුරකින් පැවත එන මම කිසි කෙනෙකුට බය නෑ. මහ විශාල පර්වත පුපුරන්නේ පුංචි ඩයිනමයිට් කරලකට. ඒ නිසා අපි බය නෑ ඒවට. මේ සටනට ආවේ බයවෙන්න නෙමෙයි. අපේ මේ පක්ෂය එකමුතුකමින් හැදුණු එකක්.
ජනවාරි 08 වැනිදා ලබන ජයග්‍රහණය අපට වගේම ඔබලා සියලු දෙනාටම හිමියි. එමනිසා පාර්ලිමේන්තුවේ සිටින අනෙක් පක්ෂවලට හා ඇමතිවරුන්ටත් ආරාධනා කරනවා අපි බිහිකරන සර්වපාක්ෂික ආණ්ඩුවේ ඇමතිකම් ගන්න එන්න කියලා. අද මැතිවරණ යාන්ත්රණයට හිරවෙලා අරලියගහ මන්දිරය වෙව්ලලා ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා අපි බොහොම සංයමයෙන් ශීලාචාර විදියට, සාමය අගයන මැතිවරණයකට යනවා. එයට මේ සියලු දෙනා සහයෝගය ලබාදෙයි කියලා මම විශ්වාස කරනවා" යනුවෙන්ද සිරිසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම රැලිය සඳහා විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ, අතුරලියේ රතන හිමි, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග, මංගල සමරවීර, යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ හේමකුමාර නානායක්කාර මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
මෙහිදී සිදු වූ සුවිශේෂී සිදුවීම වූයේ මාතර නගර සභාවේ සන්ධාන නාගරික මන්ත්‍රී රාජ් චන්ද්‍රලාල් මහතා පොදු අපේක්ෂක මෛත්‍රීපාල මහතාට සහාය දැක්වීම සඳහා එක්වීමයි.
මේ අතර තුරදී ජනතාවට හානි වන ලෙස ශබ්ද විකාශන භාවිත කළැයි කියමින් පොලීසිය ඒවායේ වයර් කපා දැමීමද සිදුකර තිබුණි.
මාතර මහේෂ් මලවරආරච්චි/එච්.ඊ. ප්‍රසාද්/ සෙව්වන්දි පත්තුවේ ආරච්චි