උණුසුම් කාලගුණ තත්ත්වය පැවතියත් පාසල් කාලසටහනේ කිසිදු වෙනසක් නැති බවත් ඒ සඳහා නිර්දේශ රැසක් ලබා ගැනීමට කටයුතු කර තිබෙන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව මේ දිනවල පවතින අධික උෂ්ණත්වය පාසල් දරුවන්ට බලපාන ආකාරය පිළිබඳව සොයා බැලීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශය හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුළු ආයතන රැසකින් නිර්දේශ ලබා ගැනීමට කටයුතු කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
එහිදී පෙ.ව.11.30 ත් ප.ව. 1.30 ත් අතර උෂ්ණත්ව දර්ශකය ඉහළම අගයක් ගන්නා බැවින් එම කාලය තුළ පාසල් දරුවන් පාසල්වලින් බැහැර කිරීම නොකළ යුතු බව නිර්දේශ වී තිබේ.
මීට අමතරව එළිමහන් කි‍්‍රයාකාරකම්වලින් සිසුන් වළක්වා ගැනීම, අවශ්‍ය තරම් ජලය පානය කිරීම සඳහා සිසුන් යොමු කිරීම, පන්ති කාමර සඳහා වාතාශ්‍රය හොඳින් ලැබීමට දොර ජනෙල් විවෘතව තැබීමට පියවර ගැනීම, පාසලේ ප්‍රමාණවත් ජල පහසුකම් නොමැති නම් ඒ සඳහා විකල්ප ක්‍රම යොදා ගැනීම ආදී නිර්දේශ කිහිපයක් ද ඊට ඇතුළත්ය.
එමෙන්ම සිසුන් සඳහා පුද්ගලිකව අනුගමනය කළයුතු නිර්දේශයන් කිහිපයක් ද ඉදිරිපත් කර තිබේ. ඒ අතරට ටයි පටි පැළදීමෙන් වැළකීම, අධික හිරු එළිය සහිත පරිසරයේ දී හිස් ආවරණ සහ කුඩ භාවිතය, සීනි අධික පැණි බීම භාවිතයෙන් වැළකීම, සෑමවිටම පිරිසිදු වතුර බෝතලයක් රැගෙන යාම, දෛනික ජල පරිභෝජනය වෙනදාට වඩා වැඩි කිරීම ආදිය ද ඇතුළත් ව තිබෙන බව අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.