බරපතළ මූල්‍ය අපරාධ විමර්ශනය සඳහා එංගලන්තය වැනි රටවල පවතින ආකාරයේ විශේෂ විමර්ශන කාර්යාංශයක් ඉදිරියේදී ශ්‍රී ලංකා පොලීසියට අනුබද්ධිතව පිහිටුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (27දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය පිහිටුවා ඇත්තේ ඊට ආරම්භයක් ලෙස පමණක් බවත්, දැනටමත් එංගලන්තයේ පිහිටි එම කාර්යාංශය මගින් මෙරට නිලධාරීන්ට අදාළ පුහුණුව ලබාදී ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මූල්‍ය අපරාධ ඒකකය මගින් විමර්ශන පවත්වන මුවාවෙන් දේශපාලන උවමනා මත කටයුතු කරන බවට විපක්ෂයේ මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු ලෙසයි.
මේ පිළිබඳව කරුණු මතුකළ ගාමිණී ලොකුගේ මහතා පවසා සිටියේ, මෙම විමර්ශන ඒකකය පිහිටුවා ඇත්තේ අග්‍රාමාත්‍යවරයා මෙහෙය වන කැබිනට් අනුකමිටුවක් මගින් පත්කළ විශේෂ ලේකම් කාර්යාලයක් හරහා කෙරෙන පැමිණිලි විමර්ශනය සඳහා බවයි.
කරුණු සනාථ කිරීම සඳහා මහජන සාමය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා නිකුත් කළ ගැසට් නිවේදනයද ඒ මහතා කියවීය.
ඊට පිළිතුරු ලෙස අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, බරපතළ මූල්‍ය ගනුදෙනු හා මුදල් විශුද්ධිකරණයට අදාළ විමර්ශන සඳහා අදාළ දැනුම ශ්‍රී ලංකා පොලීසිය සතුව නොමැති බැවින් එංගලන්තය, ඉන්දියාව හා ඇමෙරිකාව වැනි රටවල සහාය ලබාගෙන විශේෂ කාර්යාංශයක් ඉදිරියේදී පිහිටවන බවයි.
එසේ නොමැතිව දේශපාලන ලෙස කටයුතු කිරීමට තමා අදහස් නොකරන බවද ඔහු පවසා සිටියේය.