චලෙයි මුහුදින් ගොඩගත් ගුවන් යානයේ සුන්බුන් කොටස් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් සී.එච් 614 දරන එම්. අයි. 24 ප්‍රහාරක හෙලිකොප්ටර් යානයේ බව ගුවන් හමුදාව තහවුරු කරයි. මෙම යානය 1997 වසරේ මාර්තු මාසයේදී අතුරුදහන් වූ බවත්, එල්.ටී.ටී.ඊ. ප්‍රහාරයක් හේතුවෙන් යානයේ ගමන් ගත් සියලූ දෙනා සමග ගුවන් යානය කඩා වැටුණු බවත් බුද්ධි අංශ මගින් පසුව අණාවරණය කරගන්නා ලද බවත් ගුවන් හමුදාව පෙන්වා දෙයි.
අනතුර සිදුවන අවස්ථාවේ ගුවන් යානයේ ප්‍රධාන නියමුවා ලෙස ෆ්ලයින් ඔෆිසර් ඒ. මලලසේකර කටයුතු කළ බවත් සහයක නියමුවා ලෙස මේජර් වොවා මිලර් කටයුතු කළ බවත් ගුවන් හමුදාව සඳහන් කරයි. යානයේ ගුවන්යානා ඉංජිනේරු ලෙස මේජර් වයි. රොමනෝව්, ගුවන් ආරක්ෂකයන් ලෙස නායක ගුවන්භට අරුණ ශාන්ත සහ නායක ගුවන්භට පී. ටී. සමරකෝන් කටයුතු කර තිබේ. ෆ්ලයිට් ලෙෆ්ටිනන් පී. එච්. ඒ. සේනසිංහ, කෝප්රල් එස්. පී. එල්. නන්දසේන සහ නායක ගුවන්භට ලියනගේ යන අය යානයේ ගමන් ගත් සෙසු ගුවන් හමුදා සාමාජිකයන් වන බවත් ගුවන් හමුදාව තහවුරු කරයි.
අනතුර සිදුවී කලකට පසු ගුවන් යානයේ ගමන්ගත් ගුවන් ආරක්ෂකයන් දෙදෙනාගේ මෘත දේහ ඉන්දියානු වෙරල තීරයේ තිබී හමු වී තිබෙන අතර මෘතදේහ පුද්ගලයින්ගේ ළගම ඥාතීන් වෙත ලබා දී සියලු හමුදා ගෞරව සහිතව අවමංගල්‍ය පෙළපාලි කටයුතු සිදුකර තිබේ.