ශ්‍රී ලංකාවේ මුස්ලිම්, සිවිල් සහ ආගමික සංවිධානවල නායකයන් පසුගියදා ඇතිවූ නොසන්සුන්කාරී වාතාවරණය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමග ඊයේ (23දා) විශේෂ සාකච්ඡා කළ බව වාර්තා වෙයි.
එම සාකච්ඡාවට සහභාගී වූ සංවිධානයක් වන සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය වෙනුවෙන් එහි මාධ්‍ය ලේකම් මවුලවි කුෂායි ෆෂිල් ෆාරුක් බී.බී.සී.ය වෙත ප්‍රකාශයක් කරමින් කියා තිබුනේ මුස්ලිම් සංවිධාන සහ ආරක්ෂක ලේකම්වරයා අතර හමුව සුහද මුහුණුවරක් ගත් බවයි.
වසර දහසකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ ජීවත් වන මුස්ලිම් ප්‍රජාව සහ බෞද්ධ ප්‍රජාව අතර සුහද සම්බන්ධතාවයක් පැවතුන බවත්, එම සබඳතාවය ඉදිරියටත් සුරකින්නේ කෙසේද යන්න ගැන ලේකම්වරයා සමග සාකච්ඡා කළ බවත් හෙතෙම පවසා ඇත.
මෙම සාකච්ඡාවේදී අලුත්ගම සිදුවීම් ගැන අවධානය යොමු කෙරුනේදැයි බී.බී.සී.ය විමසූ විට හෙතෙම පවසා ඇත්තේ, ඉහත සඳහන් කළ කරුණුවලට අතිරේකව වැඩිදුර යමක් කීමට තමාට නොහැකි බවයි.
“ඉදිරි කාලයෙහි එක රටක් හැටියට, ලාංකිකයන් හැටියට, අපි එකමුතුව කටයුතු කළ යුත්තේ කෙසේද යන්න ගැන අපි සාකච්ඡා කළා” යැයි ඔහු බී.බී.සී.යට පවසා ඇත.
බී.බී.සී.ය පවසන්නේ එම සාකච්ඡාවේ තොරතුරු මාධ්‍යයට හෙළි නොකිරීමේ එකඟතාවයකින් එය අවසන් වී ඇති බවයි.